Pages

Saturday 11 February 2012

ප්‍රෙහෙලිකා කැටේ

මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ සතියකට එක ලිපිය ගානෙ පල කරන්න හිතාගෙන. මුල් මාස ටික එහෙම කරා උනාට මේ අවුරුද්දෙ මුලම කන්තෝරුවෙ වැඩ රාජකාරි ටිකක් වැඩි වෙච්චි නිසයි කියවන්න කැමති පොත් ගොඩක් එකපාර හම්බඋන නිසයි බ්ලොග් ලියවිල්ල ටිකක් අඩු කරන්න උනා. බලමුකො මේ මාසෙ කොච්චර ලියන්න පුළුවං වෙයිද කියල.

හරි! දැන් කතාවට...

අපිට පොඩිකාලෙ හම්බවෙන සෙල්ලම් බඩු ගොඩේ එක එක ප්‍රෙහෙලිකා විසන්න තියෙන සෙල්ලම් බඩු තියෙනවනෙ. මට මතක විදියට මට මුලින්ම හම්බ උනේ ලොකු කෑලි තියෙන ජිග්සෝ ප්‍රෙහෙලිකාවක්. ඒ මං එක වසරෙ හරි දෙක වසරෙ හරි ඉන්න කාලෙ. ඊට පස්සෙ හම්බ උනා කෑලි එහාට මෙහාට කරල රූපෙ හදන්න පුළුවන් ප්‍රෙහෙලිකා දෙකක්. එකක තිබ්බෙ බත්කූරෙක්ට කුරුමානං අල්ලන ගෙම්බෙක්ගෙ රූපයක්. අනෙත් එකේ තිබ්බෙ කැස්බෑවෙක්ගෙ රූපයක්. මේ මං ගොඩක්ම ආස කරපු සෙල්ලම් බඩු දෙකක්. රූපෙ අවුල් කරල කීපාරක් ආයෙ ආයෙ හැදුවත් එපා වෙන්නෙ නෑ. ඊටත් පස්සෙ හම්බඋනා මැකෝ ගිරව් තුන්දෙනෙක්ගෙ පින්තූරය පොඩි පොඩි කෑලි දාහක් විතර එකතු කරල හදන්න ඕනි රූප ප්‍රෙහෙලිකාවක්. හපොයි! ඒක හැදිල්ලනං නිකං කොටි වල්ගෙ අල්ලගත්ත වගේ. එකදිගට දවස් දෙක තුනක්වත් මහන්සි වෙන්න ඕනි.

ඔය වගේම ටිකක් වෙනස් රූප ප්‍රෙහෙලිකාවක් අපේ නැන්දලගෙ ගෙදර තිබ්බ. ඒකෙ තිබ්බෙ හරි හතරැස් කැට (ඝණක) නවයක්. කැට වල පැති හයෙන් රූප ප්‍රෙහෙලිකා හයක් හැදෙනව. ඒත් මං මේ කියන්න යන ප්‍රෙහෙලිකා කැටේ කතාව ඒ ප්‍රෙහෙලිකාවට සම්බන්ධ එකක් නෙමෙයි. ඒක උනේ මෙන්න මේ ජාතියෙ ප්‍රෙහෙලිකා කැටයක් නිසා.


මේකට කියන්නෙ රූබික් කැටයක් කියල. හඳුන්වල දීල තියෙන්නෙ “අර්නෝ රූබික් කියන හංගේරියානු මහාචාර්යවරය. විකිපීඩියාව කියන විදියට රූබික් කැටය කියන්නෙ ලෝකෙ හොඳින්ම අලෙවි වෙන ප්‍රෙහෙලිකා සහිත සෙල්ලම් බඩුවක්.

වැඩිදුර විස්තර දැනගන්න ආසනං මෙතනින් ගිහිං විකිපීඩියාවෙ විස්තර බලන්නකො.

ඔය ජාතියෙ කැටයක් මට හම්බඋනේ මං නවය වසරෙ ඉන්න කාලෙ විතර. රූබික් කැටයක් විසන්න ඒක එහාට මෙහාට අඹරවල පාට හය කැටේ හය පැත්තට ගන්න ඕනි. කියන්න ලේසියි, ඕක කරන්න ගියාම තමයි තරු විසි වෙන්නෙ. ඒක එහාට මෙහාට කරකවද්දි තව තව කලවං උනා මිසක් විස‍ඳුනේනං නෑ. බැරිම තැන ඒ වෙලාවට වැඩේ අතඇරල දාල පස්සෙ වෙලාවක ආයෙත් උත්සාහ කරල බලනව. ම්හු! හරියන්නෙම නෑ.

මොනම ප්‍රෙහෙලිකාවක්වත් මට මෙච්චර වද දීල නෑ. ඒ හින්දමයි මට මේ කෙහෙල්මල ඉවරයක් කරනකං හරියට නින්ද යන්නෙ නැත්තෙත්. ඔය කැටේ ලැබිල සතියකට විතර පස්සෙ දවසකත් විසඳුමක් පේන මානෙකවත් නැතුව හවස් වරුවෙං පැයක් විතර නාස්ති කරගෙන රූබික් කැටේ විසන්න මං වලි කනව. ඉවසීම බිංදුවටම බහින්න ඔන්න මෙන්න තියෙද්දි මේක අතින් අතෑරිල බිමට වැටුන්නැතැයි. කොහොමත් තව ටික වෙලාවක් ගියානං මංම ඕක පොළොවෙ ගහන තැනට එනව.

ටොස්!

මම කැටේ ආයෙ අතට අරං බැලින්නං කෑල්ලක් අඩුයි අඩුයි වගේ. පස්සෙ ටිකක් විපරං කරල බලන කොට තමයි දැක්කෙ කැටේ එක පැත්තක මැද පුංචි කොටුවක අලවල තිබ්බ නිල්පා‍ට ප්ලාස්ටික් කෑල්ල ගැලවිල ගිහිං කියල. ඒ වෙනුවට එතන තිබ්බ පොඩි සිදුර ඇතුලෙ දිලිසි දිලිසි තිබ්බ ඉස්කුරුප්පු ඇණේ ඔළුව දැක්ක ගමං නියම වර්ගයේ සරළ විසඳුමක් ඔළුව අස්සෙ විදුලි කෙටුව. දැං නං මං මේක විසනවම තමයි.  මට ඕනි මල් ඉස්කුරුප්පු නියණකුයි, ගම් බෝතලේකුයි අර ගැලවිල විසි වෙච්චි කෑල්ලයි හොයා ගන්නයි විතරයි. ඉතිරි ටික හරි ලේසියි.

ඉස්සෙල්ලම කරේ ඉස්කුරුප්පු ඇණේ ගලවල රූබික් කැටේ කෑලි වලට ගලවන එක. ඊට පස්සෙ එක පාටක කෑලි එක පැත්තකට එන විදියට කැටේ හදල අන්තිමට තිබ්බ විදියටම ඉස්කුරුප්පු ඇණේ තද කරල අර ප්ලාස්ටික් කෑල්ලත් ගම් ටිකක් ගාල ඇලෙව්වට පස්සෙ ප්‍රෙහෙලිකාව විසල ඉවරයි.


ඔන්න ඔහොමයි මං ප්‍රෙහෙලිකා කැටේ විසඳුවෙ. කොහොමත් ප්‍රශ්ණයක් විසන්න ක්‍රම කීපයකට පුළුවන්නෙ. කෙක්කෙන් බැරිනං කොක්කෙන්. :D

...

ප.ලි.
ඉස්කුරුප්පු නියණක් නැතුව රූබික් කැටයක් විසන්නෙ කොහොමද කියල දැනගන්න ඕනිනං මෙන්න මෙතනට ගිහිං බලන්න.

_____
පින්තූර
http://free-extras.com/images/rubiks_cube-13763.htm
http://upload.wikimedia.org/wikipedia/commons/f/fa/Disassembled-rubix-1.jpg

13 comments:

  1. අපේ අම්ම ගාවත් ඕකක් තියනවා, මමත් දැන් අවුරුදු 15ක් තිස්සෙ මතක් වෙන සැරේට විසදන්න හදනව, තාමත් බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. මටත් තවම ඕක හරි විදියට විසඳගන්න බෑ.

      Delete
  2. මමත් ඔහොම කරලා තියනවා. 3න් පැත්තක් නම් හදන්න අවුලක් නෑ. පැති 6 ම හදන්න මට පුළුවන් එකම සිස්ටම් එක ඔය මැද තියන කොටුවල ඇණ ගලවල, කෑලි ටික හරියට තියල ඇණ දාල.

    ReplyDelete
    Replies
    1. මං දාල තියෙන ප.ලි. කෑල්ලෙ ලින්ක් එකට ගිහිං බලන්නකො. ඒකෙ තියෙනව හරියට වැඩේ ගොඩදාගන්නෙ කොහොමද කියල.

      Delete
  3. පේරාදෙනිය කැම්පස් එකේ මල්ලිලා ටිකක් මේ කැටේ විසඳන්න රෙබෝවෙක් හදලා තිබුනා..ඌ නම් හරි ලස්සනට ඒන විසදුවා..

    ReplyDelete
    Replies
    1. මං මේ ලිපිය ලියද්දි පොඩි විස්තර හොයා බැලීමක් කරා. රූබික් කැටයක් විසඳන්න පිළිවෙලක් (Algorithm) තියෙනව. ඒ පිළිවෙල අනුගමනය කරන රොබෝවක් හැදීම නං හොඳම අදහසක්. පේරා කැම්පස් එකේ අය කරල තියෙන් නියම වැඩක්.

      Delete
  4. හික්ස්... මට ඔය වැඩේ එපා වුනා ඒ කාලෙම... අල්ලලා දැම්මට පස්සෙ පැත්තවත් බැලුවෙ නෑ... ඒත් මේක කියෙව්වට පස්සෙ ආයෙත් ආස හිතුන ට්‍රයි එකක් දීල බලන්න.....

    ReplyDelete
    Replies
    1. කරල බලන්න... ඕක මොලේට හොඳ ඇක්සයිස් එකක් කියලයි කියන්නෙ.

      Delete
  5. යාන්තම් පැති දෙකයි හදල තියෙන්නේ ඉතුරු 4 ගැන හිතුවෙවත් නැහැ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම කට්ටිය හොඳයිනෙ. අඩුම ගානෙ පැති දෙකක් හරි හදල. ඇත්තම කියන්ඩ මට නං ඕකෙ එක පැත්තක්වත් තාම හරියට හදා ගන්ඩ බැරි උනා.

      Delete
  6. මටනම් පුළුවන්... දෙතුන් පාරක් විසඳල ඉවර වුනහම තමයි තේරුනේ මේක තියෙන්නෙ මතකය පාවිච්චියට ගන්න ස්පීඩ් එක වැඩි කරගන්න කියල :)

    ReplyDelete
  7. මට ඔක තත්පර 15න් විසදන්න පුලුවන්.
    prasadmanjulago@gmail.com

    http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g

    මෙ තියෙන්නෙ අපෙ ප්‍රදර්ශනෙකදි අපි කරපු වෑඩක්.මම තමයි දෑනට ලන්කාවෙ වේගවත්ම.

    ReplyDelete
    Replies
    1. නියමයි! මං හිතාගෙන හිටියෙ නෑ මේක මෙච්චර ඉක්මනට විසඳන්න පුළුවන් ඇති කියල. සුභපැතුම්! :)

      Delete

මොකද හිතෙන්නෙ කියල සටහනකුත් තියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...