සාමාන්‍යයෙන් මම
මගේ රස්සාව - කොම්පියුටර් කෝඩ් කෙටිල්ල - කරන්නෙ
ආසාවෙන්. ඒත් සමහර දවස් එනව ඒක උනත් එපා වෙන. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ ව්‍යාපෘතියක්
‘ඩෙඩ් ලයින්’ එකක් කිට්ටු කරද්දි. ඒ කරන්න සිද්ද වෙන
වැඩ කන්දරාවෙ හදිසි ඉහල යෑම නිසා. අනිත් අතට ඊට සමානුපාතිකව ඉහල යන ‘ප්‍රොජෙක්ට් මැනේජර්’ තුමාගෙ කංකරච්චලය නිසා. මට නං වැඩිපුරම
බලපාන්නෙ ඔය දෙවෙනි හේතුව.
ප්‍රොජෙක්ට්
මැනේජර් තුමා ගැන වෙලාවකට පව් කියල නොහිතෙනව නෙමෙයි. අපිට මනුස්සය ඇතිකරන රාජකාරි
පීඩනයට වඩා වැඩි පීඩනයක් ඉහල පරිපාලනෙන් මනුස්සය මත පැටවෙනව. ඒත් හතර දෙනෙක්
වෙච්චි ‘ඩිවලොපර්ස්ල’ ටිකටයි ‘කොලිටි ඇෂුවරන්ස්’ දෙන්නෙකුටයි උපරිම ජවයෙන් උනත් වැඩ කරන්න පුළුවන්
සීමාවක් තියෙනව. වැඩ ටික හරියාකාරව බෙදිල යන්න මානව සම්පත් වැඩි නොවී, ඉන්න ටික
දෙනාටම වැඩි වැඩියෙන් වැඩ පැටවෙද්දි නිකංම වගේ සිද්ධවෙන අනෙත් දේ තමයි ප්‍රොජෙක්ට්
මැනේජර්ට තමන් යටතෙ වැඩ කරන අයගෙනුත් පීඩනය එල්ල වීම.
පද්ධතියක එක තැනක
පීඩනය වැඩි වෙද්දි ඒකෙ බලපෑම පද්ධතියෙ හැම තැනටම අඩු හෝ වැඩි වශයෙන් දැනෙනව. ඒ
පීඩනේ හැටි. රාජකාරි පීඩනෙත් මේ විදියමයි... අන්තිම ප්‍රතිපලේ තමයි ඔෆීසිය ඇතුලෙ
හැමෝම අනෙත් හැමෝ එක්කම යුද්ද කරන “සීතල යුධ” වාතාවරණයක්
ඇතිවීම. කෝඩ් කොටන අය ඒව ටෙස්ට් කරන අයත් එක්ක, මේ දෙගොල්ලොම ප්‍රොජෙක්ට් මැනේජර්
එක්ක සහ හැමෝම තේ හදන කෙනත් එක්ක විදියට තමයි මේ යුද්දෙ යන්නෙ.
ටාස්ක් බාර් එකේ
කෙලවරක පේන නොපෙනෙන ගානට හංගල තියෙන, කොළ පාටින් දිලිසෙන ඩවුන්ලෝඩ් මැනේජරේ අයිකන්
එක කියාපාන්නෙ මමත් යුද්දෙට එක පැත්තකින් අවතීර්ණ වෙලා ඉන්නව කියලයි. :-)
එදත් ඔය කියපු
විදිහෙ දවසක්. උදේ අටහමාරෙ ඉඳන් කී බෝඩ් එකට තඩිබාල, කොටාගත්තු කෝඩ් ටික ‘කම්පයිල්’ කරල, මොනිටරේට ඔරවගත්තු ගමං ‘ඩී-බග් සෙෂන්’ බර ගානක් දුවල, අන්තිමට අටෝගත්තු සිස්ටම් කෑල්ලෙ
ඉතුරු වැඩ කටයුතු ටික ඊලඟ දවසට කල්දාල, හිරිවැටිච්ච වම් වැලමිටි සන්ධියකුයි, ඇදුම්කන දකුණු
මැණික්කටු සන්ධියකුයි එක්ක ඔපීසියෙන් එළියට බැස්සෙ හොඳටම හෙම්බත් වෙලා.
පැය කාලක් විතර
රස්තියාදු වෙලා සෙනග අඩු බස් එකකට ගොඩඋනේ එතකොට ටික දුරක් හරි වාඩිවෙලා යන්න
පුළුවන් නිසයි. ජනේලයක් ගාව සීට් එකක වාඩිඋන මම වීදුරුවට එපිටින් පහුවෙන ඉර එළියෙන්
කැකෑරෙන ගෙන්දගං පොළොව දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙන්ඩ හිතට ඉඩ දුන්න. බස්
එක මාව ඇවිස්සිච්ච
කඩි ගුලක් වගේ වෙච්චි නගර මධ්‍යයෙන් ටිකින් ටික ඈතට අරං ගිහිං මගේ තාවකාලික
පදිංචිය වෙච්චි බෝඩිම කිට්ටුවෙන් බස්සනකං කල්පනා ලෝකෙක කරක්ගැහිල්ල වැඩිය හොඳයි.
“ඇයි මම මෙහේ...?”
පහුගිය
අවුරුද්ද පුරාවටම මම මගෙන්ම අහපු ප්‍රශ්ණෙ තමයි ඒක. ඔය ප්‍රශ්ණෙට එක එක විදිහෙ
උත්තර දී ගත්තු මම මේ ලඟකදි ඉඳන් හරිබරි ගැහිච්ච උත්තරේ ආයෙ වතාවක් මම මටම මුමුණ
ගත්තා.
“මම
පිටුවහල් වෙලා නිසා...”
මාව
කවුරුවත් මෙහාට පිටුවහල් කරල නෙමෙයි... මම විසින් මාවම ගමෙන් මෙහාට පිටුවහල්
කරගෙන...
ඇයි...?
ගමේ
නැති මට ඕනි දේවල් කීපයක් මෙහෙ තියෙන නිසා...
රස්සාවක්... තව දුරටත් ඉගෙන ගන්න අවස්ථා...
කරල්
වලින් බර වෙලා රත්තරං පාටට දිලිසෙන කුඹුරු මෙහෙ නෑ. ඒ වෙනුවට තියෙන්නෙ කලින් සශ්‍රීකව
තිබිච්ච කුඹුරු වල නශ්ටාවශේෂ. ඒවත් කඳු වගේ විසාල කුණු ගොඩවල් වලට යටවෙලා. කාලයක්
එහෙම තිබ්බට පස්සෙ කුණු ගොඩවල් සමතලා කරල ඊට උඩින් පස් පුරෝල වෛවාරණ ගොඩනැගිලි
හැදෙනව. පිටින් පේන ඔපේට යටින් තියෙන්නෙ කුණු. හරියට ගොඩක් මිනිස්සුන්ගෙ හිත් වගේ. පිටින් පෙන්නං ඉන්න ඔපේටයි, හිතේ ගැඹුරු කොනකට තල්ලුකරල දාල තියෙන සාරවත් කමටයි මැදින්
තියෙන්නෙ තට්ටු ගානක් කුණු...
දඟකාර
කොළු ගැටයෙක් වගේ නිදහසේ ගලාගෙන යන දියපාරවල් මෙහෙ නෑ. මෙහෙ තියෙන දිය පාරවල්
විසකුරු කොළ පාටයි. හෙම්බත්!
දාහය
නිවන්න පුළුවන් සීතල සුළං රැල්ලක් මේ කොන්ක්‍රීට් වනාන්තරය අස්සෙ හමන්නෙ නැති තරං.
ඒත්
මට ගමට යන්න බෑ... මම පිටුවහල් වෙලා නිසා!
මගේම
අවශ්‍යෙතා කියන අදිසි බිත්ති වලින් මං මේ ගෙන්දගං පොළොවෙ හිර කාරයෙක් වෙලා.
...
කාලෙකට
කලින් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන ගිය වාර්තා වැඩසටහනකදි ඒකෙ හිටපු
ගගනගාමියෙක් මෙහෙම කියනව. (ඒ දේ ඔහුගේ වචනයෙන්ම කියන්න මට හරියටම මතක නැහැ. ඒත්
ඔහු අදහස් කලේ මේ වගේ දෙයක්.)
“We have
come up here to touch the face of the heaven only to realize that we have just
left it behind.”
පසුවදන:
මේ ලිපිය ලියන්න
පාදක උනේ මං අවුරුදු තුනකට විතර උඩදි පොතක කුරුටු ගාපු දෙයක්. තව දුරටත් මම පූර්ණ කාලීන කෝඩ් කොටන්නෙක් නෙවෙයි. ඒ උනාට මේ ප්‍රශ්ණෙ වෙලාවකට
අදටත් මම මගෙන්ම අහනව...
“ඇයි මම මෙහේ...?”
_____
පින්තූරය
http://www.solstation.com/stars/earth3am.jpg