Pages

Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

Sunday, 1 November 2015

කොට්ටෝරුවා


ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්
යතුරු පුවරුවෙ යතුරු
එකිනෙකට කොටමි මම

Ctrl, Alt ද
ස්ප්‍රින් බුරුල් Enter යතුරද
නැවත නැවතත් එබෙයි
ටක් ටකට ටක ටකස්

අකුරෙන් අකුර වචනත්
වචනෙන් වචනෙ එකටත්
ගලපලා පිළිවෙලට
ටක් ටකට ටක ටකස්

යක්කු ගස් වලට නැග
ඒවගෙන් බහිනකං
නිදි නැතුව ඇහැරගෙන
ටක් ටකට ටක ටකස්

ඩෙඩ්ලයින් ගොල්ලක
කෝඩින් වංකගිරියක
හරි පාර හොයාගෙන
ටක් ටකට ටක ටකස්

වෙඩිමට, ඉඩමකට
පුළුවන් උනොත් කාර් එකකට
තව පොඩි හීන ගොඩකට
ටක් ටකට ටක ටකස්

කොටනවා කොටනවා
ඇඟිලි ඇට ගෙවෙනකං
ඇස් කෙවෙනි රිදෙනකං
ටක් ටකට ටක ටකස්

ඔබේ දෑතින් හැදුව
රසම රස තේ එකක්
ඉස්සරහ දවසකදි
තනි රකී නේද මට?

ටක් ටක් ටකස් ටක ටකස්
ටක් ටකට ටක ටකස්

Thursday, 1 October 2015

එක් සමයක


මෙතෙක් රැකවරණ ලද
බොහෝ දුර ඇති නිවස
හැරපියා පැමිණියෙමි
“ජීවිතේ ජයගන්න”

දරාගෙන කුසගින්න
විඳ නොයෙක් අවමාන
නිහඬවම පසුවීමි
ඉවසුමේ ගුණේ දැන

එහෙ මෙහේ යනෙන විට
ගේට්ටුව එපිට සිට
නිතර ඔච්චම් කරයි
අහිමි වූ සරසවිය

කාස්ටක වියළි කෙත
පීදිලා සරු වෙන්න
වහින පාටක් ම නැත
සිහිල් සොඳ පොද වැස්ස

...

අත්දැකුම් ගුරුන් කොට
ජීවිතේ සිප්හලින්
පන්නරය ලබන්නෙමි
නසන්නට රුපුන් තෙද

ගෙන්දගං පොළොව මත
වැරෙන් සටනේ යෙදෙමි
බියේ පැන යන්න නොව
අභීතව මියැදෙන්න!


(අවුරුදු ගානකට) පස්සෙන් පහු ලියමි

මං හිටියෙ තරහින්. ඇඟේ ලේ රත් වෙලා බුබුළු දාන තරං තරහින්. හැමදේම පත අට එකට හින්දෝල ඔළුව උඩ කඩා පාත් විච්ච වෙලාවට එක්කො අඬන්න පුළුවං, එහෙමත් නැත්තං තරහින් පුපුරන්න පුළුවන්. දුකයි තරහයි කියන්නෙ එකම ආවේගෙ මුහුණුවර දෙකක් විතරයි. කඳුළු වලින් හරි දාඩියෙන් හරි ඒ ආවේගෙ පිට කරල දාන්න ඕනි. ඉතින් නිසඳැසක් වගේ එකක් විදිහට ඒ ආවේගෙ පිට දැම්මම මටම ටිකක් පුදුම හිතුන. හදවතින්ම ලිව්ව, අග්ගිසි රළු, ඔප නොදාපු ගෘහ භාණ්ඩයක් වගේ නිසඳැසක්...

Tuesday, 11 August 2015

කුණාටුවට පසු

ලොකුවට හෝ කුඩාවට
බැම්මක් වෙතොත් එය
දුකින් අවසන් වේය සැමවිට

උඩින් අයිසිං කල
කොහොඹ රස පාන් ගෙඩියකි
ජීවිතය!

ගමන කෙළවර දොරින්
නික්ම ගිය අය ගැන
අයිතියක් නැත අපට

පාට සේදී ගිය
පාළු හද පතුලෙම
වේදනාවක් ඉතිරි වී ඇත

කල සියළු සැලසුම්
හීන වල අඩු වැඩියත්
මකර කටටම යනු ඇත

සියළු දේ අනියත බව
මතක බණ වේලෙදි
හාමුදුරුවෝ කියනු ඇත

Wednesday, 20 August 2014

දින්නාම...


තුන් වසක් වෙහෙසිලා
උපාධිය ගත්තාම
ඉස්ටේජ් නංවලා - තෙල් පහන් දල්වලා
දෙන්නෙ හිස් “බම්බුවක්” - කියා දන්නේ නැතිද?
(සහතිකේ හම්බෙන්නෙ
ලෝගුව බාර දුන්නමනෙ...)

වෙන අයව පරදලා
තර‍‍ඟෙකින් දින්නාම
ගුණ ගීත ගායනා - මහ ගොඩක් පවත්වා
කැමරාවෙ ප්ලෑසරෙන් - ගිනිකණත් වට්ටවා
අතට දෙන කුසලානෙ
මදේ හිස් එකක් නෙව...

ඉතිං...

මොකක් හරි තර‍‍ඟෙකින්
දිනීමේ වටිනකම
බොහෝ කැප කෙරුම් කර - ලැබූ පුහුණුවේ සහ
හිතේ කහටක් නැතිව - හෙළූ දහඩියේ මිස
දාන ඔල්වරසනේ
කොහොමත්ම නෑ නේද?

Saturday, 2 February 2013

සහජීවනය...




වියැකිලා ගොස් සියළු බාදා

මුළු ලොවම තනි රටක් වූවොත්...

ඒ රටේ වැසි සියළු මිනිසුන්

එකම දහමට අයත් වූවොත්...

හමේ පාටට ගරු නම්බු දෙන

මෝඩ ක්‍රමයත් නැතිම වූවොත්...

තැනක් වේවිද ලොවම නිදහස්

අනේ...!

එදාටවත්...?



ප. ලි.

එක්කො බදාගෙන කුලල්කාගන්න වෙන මොකක්හරි කුණු ගොඩක් සමහරවිට එදාටත් මිනිස්සු හොයා ගනීවි...


_____
පින්තූරය

Wednesday, 25 July 2012

මෙහෙමත් වෙනව...



සීත කාමරෙ
සැපැති පුටුවක
කැරකි කැරකී
බලයි පත්තර

පුවත් ගොණුකොට
'ඇනලයිස්' කොට
රට හදන හැටි
කියයි අනුනට

රාජකාරිය
නොසැලකූ කල
ෆයිල් කන්දත්
වැඩෙයි ඉහලට

දික් ගැසී ගිය
පෝළිමක සිට
හූල්ලා යයි
පඩි ගෙවන දන


වැදගත්:
මේ කියන්නේ හැමෝ ගැනම නෙවෙයි. කිරි බාල්දියට වැටුන ගොම වගේ කට්ටිය වගේම කළු ගල් ගොඩවල් අස්සෙ හැංගිච්ච මැණික් වගේ කට්ටියත් ඉන්නව.
_______
පින්තූරය

Sunday, 11 March 2012

නටඹුන්...




අද නිවාඩු දවසෙ මං ඔය අරව මේව කුරුටු ගාපු පොතක් උඩින් පල්ලෙන් පෙරලල බලද්දි දැනට ටික කාලෙකට කලින් තිබ්බ සටහනක් ඇහැ ගැහුන. එතන ඉඳන් පොත ඉස්සරහට පෙරලගෙන යද්දි මුල් සටහනට නෑකම් කියන සටහන් එකින් එක මතුවෙන්න ගත්ත නිසා ඒ ඔක්කොම එක තැනකට අරගෙන ලිපියක් ලියන්න හිතුන.

මේ ඒ සටහන් දාමයේ මුල් පුරුක.


ඇස් පියන් යට
ලැගුම් ගෙන ඔබ
දෙගොඩ හරියේ
නින්ද නෑ මට


“හිත ගිය තැන මාළිගාව” කියල කතාවක් තියෙනවනෙ. එහෙම හිත ගිය තැන් වල අපි හදන්නෙ අහස් මාළිගා. ඒව ඉතින් කඩා වැටෙනව. එතකොට හිතේ අමාරුව යන්නත් එක්ක කුරුටු ගාපු සටහනක් තමයි මේ.


මිරිඟුවක් පස්සේ
දිව්වා නේද රිසිසේ
නැත වැස්ස වැස්සේ
රැවටුනා උඹ මෝඩයෙක් සේ


කඩා වැටිච්ච අහස් මාළිගාවක නටඹුන් අතරෙ අතරමං වෙලා මනෝ ගහගෙන ඉන්න ඕන්නෑනෙ. ඒ නිසා හිත ‘රිකවරි මෝඩ්’ එකට දාල හිත හැදෙන්නත් එක්ක මෙහෙම ලිව්ව.


පළඟැටියෝ නුඹ නාඩන්
ඉටිපන්දම නිවිල ඉතින්
අළු වීලා යන්න සොඳින්
වෙන දැල්ලක් සොයා ගනින්


ඔය ටික කරල දෙයියනේ කියල වැඩක් බලාගෙන ඉන්නකොට සමහර වෙලාවල් එනව තමං ගැනම හිතන්න ගිහිං හරි අනිත් අයගෙ උපදෙස් අහගන්න ගිහින් හරි සමස්ත ලෝක ප්‍රජාවත් එක්කම මල පනින. එතකොටනං ලියවෙන්නෙ  මෙන්න මෙහෙම.


අනේ බොල අනංගයෝ
උඹත් කසාදයක් කරගං
වයිපරයක් නෑ කිව්වහම
ලැජ්ජයිනෙ බං...


_____
පින්තූරය
http://www.ifimages.com/photos/O62uVlzGNFhfnDbEfI0oBaKr8/author-602/Ruined-castle-remains-Corfe-Castle.jpg


Thursday, 3 November 2011

හැරමිටිය





හැරමිටට වාරුඋන
වෙව්ලන සරීරකූඩුවට
ඔය අමන හිනාවම
මමත් පෑවා...

ඒ කාලෙ ගෙවී ගොස්
යස රූපෙ මැකී ගොස්
හැරමිටිය ලබන්නට
මටත් වූවා...

තේරුණේ නැති උනත්
බොට තවම මයෙ පුතේ
මේ වගේ දවසකුත්
පසුව ඒවි...

ඒ දිනේ ආ දාට
ගනින් මේ හැරමිටිය
මට එයින් පොරෝජන
නොමැති වේවි...

_____
පින්තූරය
http://news.bbcimg.co.uk/media/images/48109000/jpg/_48109093_walkingstick_bbc_282.jpg

Sunday, 30 October 2011

නොනිමි...




අඩි හයක් පොළොව යට
මිහිදන්කර නවාතැන
අයිතිකරුවාව සිටි කෙනා
පිටත් වී ගොසින්
ගමන නිම වන තුරා
නැවතුමක් නැති නිසාම

_____
පින්තූරය
http://farm4.static.flickr.com/3503/3298640250_f72164674c.jpg

Tuesday, 13 September 2011

ගංගාව



ගලාන යයි
නිසංසලේ
ගිරි දුර්ග පසුකල බවට
වගක් වත් නැතිව...
දැන් ලඟයි,
මහා සාගරයට



______
පින්තූරය
http://gallery.photoreview.com.au

Tuesday, 6 September 2011

සරුවපිත්තල



තනතුරු - නම්බු නාම
සහතික - සුදුසුකම්
වටකොටැති මායාව
සිඳ බලන්, මනාකොට

කාලයක් පුරාවට
ගොඩගැසී ගඳගසන
තට්ටු ගණනක් මාන්නය
කැණ බලන්, ගැඹුරටම

හමුවේවි ජීවිතය,
ඉපදෙන - වයස්ගතවන
ලෙඩවෙන - මියෑදෙන
ජීවිතය!
Related Posts Plugin for WordPress, Blogger...