Pages
Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts
Thursday, 29 October 2015
භින්න
මිනිස්සු අතර තියන සම්බන්ධතා සංකීර්ණයි. පහසුවෙන් බිඳෙන සුළුයි. ඊට හේතුව මිනිස්සු පිටින් පේනවට වඩා ඇතුලතින් සංකීර්ණ සහ සංවේදී වීම වෙන්න ඇති. ඕනිම කෙනෙක්ට - අන්තිම දුප්පතාට පවා - තමන් ගැන ආත්ම අභිමානයක් තියනව. ඒක රැක ගන්න ඕනි කළු ගලක ඔළුව ගහන්න දෙපාරක් හිතන්නෙ නැති අයත් ගොඩක් ඉන්නව.
මෙතනදි තියන ලොකුම ප්‍රශ්ණෙ තමයි අපිට අපේ කටවල් පරිස්සං කර ගන්න බැරි කම. අපි කියන දේවල් ගැන මීට වඩා වගකීමක් ගන්න පුළුවන්නම් මේ ප්‍රශ්ණ වලින් වැඩි හරියක් ඇති වෙන්න කලින්ම ඇති නොවෙන තැනට වගබලා ගන්න තිබ්බ. ඒත් අපේ මහන්තත්තෙ වැඩියි. අපි හිතාගෙන ඉන්නෙ ඉර, හඳ, තාරකා ඔක්කොම අපි වටේ කැරකෙනව කියල. අපිට ඕනි කරන දේවල් දෙන්න ලෝකෙ සැදී පැහැදී ඉන්නවයි කියල. ඒකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ රිදිච්ච හිත්, බිඳුණු සබඳතා සහ කලකිරීම විතරයි.
අනිත් දේ තමයි අපි වෙන අය ගැන කරන තක්සේරුව. ඒක කරන්නෙ හරියට කන්න ඕනි උනාම කබරගොයි මසුත් තලගොයි මස් කරගන්නව වගේ. අපි නොකල යුතු තැනදි අපිව මැනගන්න මිම්මෙන් අනුන්ව මනින්න යනව. කල යුතු තැනදි ඒ මිම්ම ඒ විදිහට පාවිච්චි කරන එක අතෑරල දානව. ඉතින් ප්‍රශ්ණ ඇතිවෙනව මිස විසඳෙන්නෙ කොහොමද?
එක් කෙනෙක් එච්චරටම ගණන් ගන්නෙ නැති දෙයක් තව කෙනෙක් මහ ලොකුවට ගණන් ගන්නව. කෙනෙක් පුංචි ගින්දරක් අවුළුවනව වෙන්න පුළුවන්. සමහරවිට අත්වැරදීමකින්, තමනුත් නොදැනුවත්වම. ඒ ගින්දරට පිදුරු දාල අවුළුවන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නව. අන්තිමේදි වෙන්නෙ පොඩි ගින්න ලැව් ගින්නක් බවට පත්වීම.
පාරෙදි බැන ගන්න මිනිස්සු දෙන්නෙක් වටේ ‘ප්‍රේක්ෂකයො’ වටඋනොත් ඒ බැන ගැනිල්ල ගුටි ඇන ගැනිල්ලක් දක්වා දුර දිග යෑමේ සම්භාවිතාවය වැඩියි. ප්‍රේක්ෂකයන්ගෙ අතපෙවීම පොඩි දේත් ඔඩු දුවවන්න හේතු වෙනව.
හොඳ පැතිරෙනවට වඩා වේගෙන් සමාජෙ නරක පැතිරෙනව. එහෙම නරක පැතිරෙද්දි ඒ නරක ගුණනය වෙන ගතියක් තියනව. කපුටු පිහාටුව කපුටො හතක් වෙනව; පොඩි හිම කැටේ හිමගිරි නිපාතයක් වෙනව. පංගු කාරයො හැමෝම අඩු වැඩි වශයෙන් විඳවනව.
බිඳවැටිච්ච සබඳතාවයක් දෙපැත්තෙ ඉන්න දෙන්න එකිනෙකා ගැන දරන ආකල්පය සමාජෙට සන්නිවේදනය කරන්නෙ එක්තරා විකෘතියකුත් එක්කයි. ඒකෙන් අනිත් අයගෙ හිත් වල මැවෙන පුද්ගල ප්‍රතිරූපෙ ගැන චිත්‍රයත් විකෘති උන එකක්. ඒ චිත්‍රය පාදක කරගෙන ගන්න තීරණත් විපරීතයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. කොහොම උනත් පුද්ගලිකව මං දරන ආකල්පය නම් යක්කු කියන තරං කළු නෑ කියන එක හා සුර දූතයො කියන තරං සුදු නෑ කියන එකයි.
ප. ලි.
හරිනෙ... අද මට පෙත්ත බොන්න අමතක වෙලා...
Friday, 18 September 2015
විද්‍යා ප්‍රබන්ධ
මං හිතන්නෙ ඉස්කෝලෙදි විද්‍යාව විෂයක් විදිහට මට හම්බ උනේ හය වසරෙදි විතර. ඒත් විද්‍යාව ගැන මට ලොකු ආසාවක් ඇතිවෙලා තිබ්බෙ මං හතර වසරෙ ඉන්න කාලෙ ඉඳන්මයි. ඒක උනේ ටීවි එක නිසා.
දැන් වගේ නෙවෙයි සමස්තයක් විදිහට ගත්තම, ඒ කාලෙ ඇත්තටම වැදගත් වැඩසටහන් ගොඩක් රූපවාහිනියෙ ප්‍රචාරය උනා. ඒව අතරින් ටයි මාමගෙ කාටූන් ඇරුනම මගේ ප්‍රියතම වැඩසටහනක් වෙලා තිබ්බෙ “දෙදාහෙන් එහා” කියන වාර්තා වැඩසටහන. ඊට අමතරව චන්දන ජයරත්න මහත්තය කරපු “විශ්වයේ අසිරිය” වැඩසටහනයි දැන් මට නම අමතක වෙලා ගිහින් තියන මොකක්හරි “... මිහිකත” කියල තව වැඩසටහනකුයි මගේ ෆේවරිට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ.
ඔන්න ඔතනින් තමයි මගේ විද්‍යා මෙව්ව එක පොඩි අංකුරේකින් පැළවෙන්න පටන් ගත්තෙ. පස්සෙන් පහු ඒක මුල් ඇදල මට විද්‍යා පිස්සුව හැදුණ. ඒ පිස්සුව උත්සන්න වෙන්න පොහොර දැම්මෙ මං කියවපු විද්‍යා ප්‍රබන්ධ කතා. වෙන්න ඕනි විදිහටම ඒවගෙන් මුල් එක මට හම්බ උනේ විදුසර පත්තරේක තිබිල. දැන් අපහු හැරිල බලද්දි විදුසරෙන් ලැබිච්ච තල්ලුව සුළුපටු නැහැ කියල හිතෙනව. ඒ වගේමයි මුතුහර, සිව්දෙස, මනහර, සෝදිසි සඟරාත්. අපේ අප්පච්චි විසි අවුරුද්දක් තිස්සෙ එකතු කරපු සඟරා වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ඇත්තෙ මං වෙන්න ඇති.
“විද්‍යාවෙන් කරන්නෙ ලෝකෙ වැඩ කරන යාන්ත්‍රණය තේරුම් ගන්න උත්සහ කරන එක.”
මට භෞතික විද්‍යාව උගන්නපු එක ගුරුවරයෙක් කිව්වෙ එහෙමයි. මං විද්‍යාව විෂයට ආසත් ඒ හේතුව නිසාමයි. ලෝකෙ කියන මහා අවුල් ජාලාව ටිකක් හරි තේරුං ගන්න පුළුවං වීමම හිතට සැනසීමක් නෙවෙයිද? අන්ධකාර පාරක යද්දි එක ගිණිකූරක් හරි අතේ තියන එක කොච්චර දෙයක්ද?
ඉතින් විද්‍යාවෙ කතාව මේ වගේ...
ඒක හැම තිස්සෙම අළුත් දේවල් එකතු වෙවී වැඩි දියුණු වෙන දෙයක්. එහෙම විද්‍යාව වැඩිදියුණු වෙන්න වෙන්න මනුස්ස වර්ගයා ලෝකෙ මේ විදිහයි කියල හිතින් මවාගෙන ඉන්න චිත්‍රයත් ටිකින් ටික වෙනස් වෙනව. මිනිස්සු ස්වභාවයෙන්ම වෙනස්වීමට අකමැති නිසා විද්‍යාව දියුණු උනේ සහ දියුණු වෙන්නෙ හැලහැප්පිලිත් එක්ක. චාල්ස් ඩාවින් ස්වාභාවික වරණය ගැන කතා කරාම ඒ කාලෙ හිටිය බුද්ධිමත්තු ඔහුට හිනා උනා. ගැලීලියෝ සූර්ය කේන්ද්‍ර වාදය ගැන කතා කරාම පල්ලිය ඔහුට තර්ජනය කරා.
සමහරු ලෝකය කාගෙ හරි මැවීමක් කියල හිතාගෙන ඉද්දි තවත් සමහරු කියන්නෙ ලෝකෙ ඉබේ ඇතිඋනා කියල. ඔය අතරෙ ලෝකය හේතූන් නිසා හටගත්ත ඵලයන්ගෙ එකතුවක් කියල තව කොටසක් කියනව. මේව තමයි අපිට අපේ වටාපිටාව ගැන තියන ආකල්ප. එකම ප්‍රශ්ණෙ දිහා කීප විදිහකින් බලන්න අපි පුරුදු වෙලා ඉන්නව. මං නං කියන්නෙ ඒක හොඳ දෙයක්. ඒ මොකක් හරි ගැන තමන් දකින විදිහට වඩා වෙනස් විදිහට දකින අය තව ඉන්නව කියල තේරුං ගැනීම අන්තවාදයෙන් මිදීමේ පළවෙනි පියවර කියල මං විශ්වාස කරන නිසා.
විද්‍යාව කියන්නෙත් එහෙම ප්‍රශ්ණයක් දිහා බලන එක විදිහක්. අපි ඒකට පාවිච්චි කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක්.
පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය.
ඔය ක්‍රමේට තමයි විද්‍යාව පරිණාමය වෙන්නෙ.
කොහොමත් විද්‍යාව සර්ව සම්පූර්ණ නැහැ. කවදාවත් එහෙම වෙන එකකුත් නැහැ. අපි දවසින් දවස ගොඩක් දේවල් ඉගෙන ගන්නව උනත් විද්‍යාවෙන් අපි තේරුම් අරං ඉන්න ලෝකයයි, ඇත්තම ලෝක සොබාවයයි අතරෙ තවමත් නොදන්න දේවල් ගොඩක් පිරිච්ච මහා ආගාධයක් තියනව. අන්න ඒ හිඩැස පුරවන්න තමයි අපි අපේ පරිකල්පන ශක්තිය පාවිච්චි කරන්නෙ.
ඉතින් විද්‍යාව පැත්තෙන් කවුරුහරි තමන්ගෙ හිතීමේ ශක්තිය අයාලෙ යන්න ඇරියම තමයි විද්‍යා ප්‍රබන්ධ බිහි වෙන්නෙ. ඒව හරියට විද්‍යාත්මක පදනමක් තියන සුරංගනා කතා වගේ.
විද්‍යා ප්‍රබන්ධ ලියවෙන ජනප්‍රිය මාතෘකා කීපයක් තියනව. අභ්‍යවකාශ ගවේෂණය, පිටසක්වල ජීවය, කාල තරණය, අමරණීයත්වය, කෘත්‍රිම බුද්ධිය... එක අතකට බලාගෙන ගියාම මේව මනුස්ස හිත් වල ආදි කාලෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්ණ. මේ හැම ප්‍රශ්ණෙම පැනනැගිල තියන්නෙ එකම මූලයකින්.
“අපි ආවෙ කොහෙන්ද? අපි යන්නෙ කොහාටද?”
ආගම් වගේම විද්‍යාවත් මිනිස්සු ඇති කර ගත්තෙ වෙන මොනාටවත් වැඩිය මෙන්න මේ ප්‍රශ්ණ දෙකට උත්තර හොයා ගන්න. විද්‍යා ප්‍රබන්ධ වලින් කෙරෙන්නෙ අපි මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවං එක එක විද්‍යාත්මක දෘෂ්ඨි කෝණ අපිට පෙන්නල දෙන එක. අපි එහෙම උත්තර හොයාගෙන යද්දි අපිට හම්බවෙන්න පුළුවං වෙනත් දේවල් ගැන, අපි සැලකිලිමත් විය යුතු දේවල් ගැන, විශ්වයේ අපේ තැන ගැන උපකල්පනය කරන එක සහ ඒ අදහස් කතන්දරයක් විදිහට ඉදිරිපත් කරන එක.
සිංහලෙන් ලියපු සහ සිංහලයට පරිවර්තනය කෙරුනු විද්‍යා ප්‍රබන්ධ වලින් වැඩි හරියක් මට මුණගැහුනෙ කලින් කිව්ව වගේ පත්තර වලිනුයි සඟරා වලිනුයි. ආතර් සී ක්ලාක් ව, අයිසෙක් ඇසිමොව් ව විදුසර හරහා මුණ ගැහිච්ච මම ජූල්ස් වර්න් වයි එච්. ජී. වෙල්ස් වයි මුණගැහුණෙ මුතුහර, සිව්දෙස සඟරා වලින්.
ඔය තමයි මගේ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ රචකයො හතර දෙනා.
ඒ අතරිනුත් උඩින්ම ඉන්නෙ ආතර් සී. ක්ලාක්. මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධ ඔහුගේ නිර්මාණ. අභ්‍යවකාශ වීර චාරිකා පොත් හතර (2001, 2010, 2061, 3001), මිහිකතේ ගීතය (Songs of the Distant Earth), පාරාදීසයේ උල්පත් (Fountains of Paradise) , රාමා හමුව (Rendezvous with Rama), ඩොල්ෆින් දූපත (The Dolphin Island), ගැඹුරු මුහුද (Deep Range)...
මං හිටියෙ ඔය පොත් වලට වහ වැටිල. ආතර් සී ක්ලාක් ගෙ අනාගතය උපකල්පනය කිරීමේ හැකියාව අති විශිෂ්ඨයි. ඒ වගේමයි ඔහුගෙ රචනා ශෛලියත්. මං ඒකට කියන්නෙ තැපෑලෙන් වදින කතා කියන ක්‍රමයක් කියල. මොකද කතාවෙ හරය තේරෙන්නෙ කතාවෙ අග හරියට කිට්ටු කරාම. ඒ වගේමයි කතා වල තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ මත වාද. ඒ තරං අදහස් වලින් පෝසත් කතා ලියල තියෙන්නෙ ටික දෙනයි. ආතර් සී ක්ලාක් ගෙ පරිකල්පන ශක්තිය ක්ෂේත්‍ර ගණනාවක් හරහා කොච්චර දුරට විහිදෙනවද කියල දැනගන්න නං ඔහු ලියපු කෙටි කතා කියවල බලන්න ඕනි. ඒව අභ්‍යවකාශ සෝපාන, බ්‍රහස්පති දියමන්ති, රික්තයේ ශක්තිය, විකිරණයේ ජීවීන් වගේ එකිනෙකට වෙනස් පුදුමාකාර අදහස් වලින් පිරිල තියනව.
විද්‍යා ප්‍රබන්ධ කලාවෙ පුරෝගාමියො වෙච්ච ජූල්ස් වර්න්වයි එච්. ජී. වෙල්ස්වයි මෙතනදි කොහොමත්ම අමතක කරන්න බැහැ. ලීග විසිදහසක් ගැඹුරු මුහුදේ (Twenty Thousand Leagues Under the Sea), ලොව වටා අසූ දිනකින් (Around the World in Eighty Days) වගේම ලෝක සංග්‍රාමය (War of the Worlds) සහ අදිසි මිනිසා (The Invisible Man) කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේ සම්භාවනීය කෘති. ඊට පස්සෙ පරම්පරා වල රචකයන්ව විද්‍යා ප්‍රබන්ධකරණයට උනන්දු කරේ ඒ කතා තමයි.
විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ නිකංම කතා විතරක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධකරණය විද්‍යාවෙන් පෝෂණය වෙනව වගේම විද්‍යා ප්‍රබන්ධ නිසා විද්‍යාවත් පෝෂණය වෙනව. කෘත්‍රිම බුද්ධිය ක්‍රමලේඛණය කරද්දි පාවිච්චි කරන මූලික නීති තුන (three laws of robotics) ඉදිරිපත් උනේ ඇසිමොව්ගෙ විද්‍යා ප්‍රබන්ධයක් හරහා. සබ්මැරීනය ගැන මුල්ම අදහස ඉදිරිපත් උනේ ජූල්ස් වර්න්ගෙන්.
අවාසනාවට වගේ සිංහල සාහිත්‍ය ඇතුලෙ විද්‍යා ප්‍රබන්ධ ලියවෙන්නෙ පොඩ්ඩයි. ඒ ලියවෙන ඒවගෙනුත් සැලකිය යුතු තරම් තාර්කිකව ලියවිල තියෙන කතා ප්‍රමාණය ඊටත් අඩුයි. ඒකට හේතුව ලංකාවෙ තියන ‘ගඩොල් අච්චු’ අධ්‍යාපන ක්‍රමේද කියල වෙලාවකට මට හිතෙනව. ඒ උනත් හොඳ සිංහල විද්‍යා ප්‍රබන්ධ නැතුවම නෙවෙයි. දමිත නිපුණජිත් ලියපු “විස්මිත සිහින දකින්නා” කෙටි කතා සංග්‍රහය වගේම සුසිත රුවන්ගෙ “රාවණා මෙහෙයුම” එහෙමත් ඇත්තටම හොඳ විද්‍යා ප්‍රබන්ධ. නියම විද්‍යා ප්‍රබන්ධ වල තියන ‘ගතිය’ ඒවගෙ තියනව.
විද්‍යා ප්‍රබන්ධ වලින් වෙන එක හොඳක් තමයි ටිකක් ලොකුවට ලෝකෙ දිහා බලන්න අපිව පුරුදු කරන එක. එතකොට අපිට අපිවත් ටිකක් පොඩියට පේනව.
කාල් සේගන් කියනව වගේ පොළොව කියන්නෙ “අන්තරීක්ෂයේ දූවිලි පොදක් (a speck of dust in the cosmos)”.
අපි කොච්චර වාසනාවන්තද සහ ඒ එක්කම කොච්චරනං මෝඩද කියල තේරුං ගන්න ඒ ටිකම ඇති.
___
පින්තූරය
Saturday, 14 February 2015
සුළඟ සදිසි
අපිව වට කරගෙන හුළඟ තිබුණ උනාට. අපි ඒක හුස්ම ගත්ත උනාට හුළඟ අපි අවට තියනව කියල අපිට නොදැනෙන තරම්, අපි ගණන් නොගන්න තරම්. හුළඟ කියල එකක් තියනව ය, ඒක ගොඩක් වැදගත් ය කියල අපිට තේරෙන්නෙ හුළඟ නැති වෙලාවට. සමහර මිනිස්සුත් නිකං හුළඟ වගේ. ඒ අය ලඟපාත ඉන්නකං අපිට ඒ අයගෙ වටිනාකමක් තේරෙන්නෙ නෑ. ඒ අය මොනාවත් කරනවවත් අපිට පේන්නෙ නැහැ.
“දවස තිස්සෙ නිකං ඉන්නව ඇරෙන්න ඔයා මොනාද කරල තියෙන්නෙ?”
කියල හරි;
“ඔයා කිසිම දෙයක් නොකර නිකංමනෙ ඉන්නෙ...”
කියල හරි සමහර විට අපිම ඒගොල්ලන්ට අනන්තවත් කියල ඇති. ඒ වෙලාවට අහිංසක විදිහට හිනාවෙලා ඒගොල්ලො නිකං ඉඳියි. මොකද ඒ අය අනිත් අය වෙනුවෙන් කොච්චර බරක් කරගහන්න ලෑස්තිද, දැනටමත් කොච්චර බරක් කරගහනවද කියල කියන්න හරි පෙන්නන්න හරි කැමති නැති නිසා. ඒගොල්ලො හෙවනැලි වලට මුවා වෙලා ඉඳගෙන ආලෝකය රකින උදවිය. තමන්ව උලුප්පල දක්වන්න ඒ අය කැමති නැහැ. ඒ සමහර විට ඒ අය කුලෑටි නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නං අනිත් අයට හොඳක් වෙනවනං ඒක කරේ කවුද කියන එක වැදගත් නෑ කියල ඒගොල්ලො හිතන නිසා වෙන්න ඇති.
අනිත් අතට, මේගොල්ලො මහ ලොකු දේවල් කරන්න යන්නෙත් නැහැ. ඒගොල්ලන්ගෙ අවධානයට ගොඩක් වෙලාවට අහුවෙන්නෙ අනිත් අයට කරන්න අතපසුවෙන, පුංචි පුංචි දේවල්. හැබැයි ඒ දේවල් වලින් කරන්න පුළුවන් බලපෑම පොඩිත් නැහැ.
එක්කෝ තමං කන චොක්ලට් එකේ හරි බිස්කට් පැකට් එකේ හරි කොළේ ඒක දාන්න කුණු බාල්දියක් හම්බවෙනකං සාක්කුවෙ දාගෙන යයි.
එහෙමත් නැත්නම් ෆෝන් එකත් කණේ ගහගෙන මෙලෝ සිහියක් නැතුව පාරෙ යන කෙනෙක් ලිස්සල වැටෙන්න පුළුවං කියල හිතල පාරෙ වැටිල තියන කෙසෙල් ලෙල්ලක් හරි අඹ ලෙල්ලක් හරි අයින් කරල දායි.
සමහරවිට කිලෝවොට් එකක් දෙකක් හරි වතුර ලීටර් කීපයක් හරි නාස්ති වෙන එක වලක්ව ගන්න මොනා හරි කරයි (ඔහේ වැඩ කර කර කියන විදුලි පංකාවක් හරි විදුලි බල්බයක් හරි නිවල දාන එක, කාට හරි අමතක වෙලා ඇරල දාල ගිය වතුර කරාමයක් වහල දාන එක වගේ).
පාටියකට ගියාම තියන රස කෑම හැම එකක්ම හිත පිරෙන ගානට තමංගෙ පිඟානට ගොඩ ගහගෙන පස්සෙ කුණු බාල්දි වල බඩ පුරවන්නෙ නැතුව තමංට කන්න පුළුවන් තරමට විතරක් බෙදා ගනියි.
ඔන්න ඔහොම තමයි...
වෙලාවකට බලා ඉන්න අපිට හිතෙනව මේ වගේ පොඩි පොඩි දේවල් වලට මොකට නහිනවද කියල. ඔයා ඒ අදහස ප්‍රශ්ණයක් විදිහට එහෙම කරන කෙනෙක්ගෙන් ඇහුවොත් සමහරවිට හරි ලස්සන උත්තරයක් ඒගොල්ලො දෙයි.
“වතුර බිංදුව බිංදුව එකතු වෙලා තමයි මහා සාගරයක් හැදෙන්නෙ. ඉතින් පොඩි දේකින් හරි ලෝකෙට හොඳක් කරන්න පුළුවන් නං ඇයි අපි ඒක නොකර ඉන්නෙ. හොඳ වැඩ කරද්දි කාත් එක්කවත් තරඟෙට ඒව කරන්න ඕනි නෑනෙ.”
සමහර විට ඒගොල්ලො ඒ විදිහට හිතන්නෙ, ඒගොල්ලො වැඩිය කැමති වටපිට බල බල ජීවිතේ දිගේ ඇවිදින්න නිසා වෙන්න ඇති.
අපි ගොඩක් දෙනෙක් කරන්නෙ ජීවිතේ දිගේ දුවන එක. මොකද කියනවනං, ජීවිතේ රේස් එකක් කියල අපි හිතාගෙන ඉන්න නිසා. ඒ උනාට ජීවිතේ දකින්නනං කෙනෙක් ජීවිතේ දිගේ ඇවිදගෙන යන්න ඕනි නේද? ඉඳල හිටල සමහර තැන් වලදි දුවන්න වෙනව තමයි. ඒත් වටපිටේ සිරි නරඹන ගමන් ගොඩක් ඇවිදින්න පුළුවන්නං ටිකක් දිව්වම මොකද. හැබැයි වටපිට බලන්න ඕනි කියල ජීවිතේ දිගේ බඩගාන එකනං මෝඩ වැඩක්. මොකද කෙනෙක් ජීවිතේ ගෙවන විදිහ ගැන ලෝක ස්වභාවයට වගේ වගක් නැති නිසා. ඉර පායනව වගේම ඉර බහිනව. ඉර බහිද්දි අපි ඉන්න ඕනි කොතනද සහ ඉන්නෙ කොතනද කියන එක අපේ මිස වෙන කාගෙවත් ප්‍රශ්ණයක් නෙවෙයි.
ඉතින්, ජීවිතේ දිගේ ටිකක් හරි ඇවිදින්න පුරුදු උනොත් සමහර විට හුළඟ වගේ අයව දකින්න අපිටත් බැරි වෙන එකක් නැහැ.
හැබැයි මට තියන ප්‍රශ්ණෙ තමයි, කවුරුහරි හුළඟ වගේ වෙන්න හිතන්නෙ ඇයි කියල. වැඩි දෙනෙක් ඒකෙ අනෙත් පැත්ත. ඒගොල්ලලො හදන්නෙ මොනා හරි පොඩි දෙයක් කරල හරි, මුකුත්ම නොකර හරි කමක්නෑ තමංගෙ නම මහ ලොකුවට කියෝ ගන්න.
ඒක එක්කො ජාන වලටම කාවැදිච්ච ගතියක් වෙන්න ඇති. ඒ වගේ ගති අපි හැමෝ ලඟම තියනව. හොස්ස ලඟින් මැස්ස යන්න බැරි කම, පුහු මාන්නෙන් ඔළුව ඉදිමිච්ච ගතිය, කිසිම පිළිවෙළක් නැති කම වගේම, අරපරිස්සමින් වැඩ කරන ගතිය, අනිත් අයට ඇහුම්කන් දෙන්න තියන හැකියාව, රහසක් රහසක් විදිහට තියා ගන්න පුළුවන්කම සහ වගකීම් දරන්න බය නැති ගතිය වගේ ඒව අඩු වැඩි විදිහට අපි කවුරු කවුරුත් උපතින්ම අරගෙන එනව.
හැබැයි කෙනෙක්ගෙ තියෙන ‘හුළඟ වගේ ගතිය’ මුලින්ම අනිත් අයට පේන්න පටන් ගන්නව ඇත්තෙ උපන්ගෙයි මෝඩකම විදිහට වෙන්න ඕනි. මොකද, වතුරෙ ගිලෙන කූඹියෙක් බේරන්න දෙපාරක් හිතන්නෙ නැතිව කක්කුස්සි වළකට අත දාන්න පුළුවන් කම හුදී ජනයා දකින්නෙ අන්තිම මෝඩ කමක් විදිහට නිසා. අනිත් අතට එහෙම හැකියාවක් තියන කෙනෙක්ව සමාජය ලේසියෙන් අතාරින්නෙත් නැහැ. එහෙම කෙනෙක් හැමෝටම විනෝදය සපයන විකටයෙක් කර ගන්න සමාජය හරිම දක්ෂයි. “මෙන්න නිවටයෙක්” කියල හිතාගෙන එළුවොත් රැවුල් දික් කරගෙන එන්න පටන් ගන්නව. ‘හුළඟ වගේ අය’ හෙවනැලි වලට මුවා වෙලා ඉන්නයි, සභාවෙ පිටිපස්සෙ පුටු වල වාඩිවෙන්නයි පස්සෙ කාලෙකදි පුරුදු වෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.
ඉතින්, හුළඟ වගේ මිනිස්සු ඉන්නව. හුළඟ අතට අහුවෙන්නෙ නෑ වගේම ඒ අයව අපේ අවධානයට අහු වෙන්නෙත් නැති තරම්. ඒත් චිත්‍රපටියක පසුබිම් සංගීතෙ චිත්‍රපටිය ලස්සන කරනව වගේ ඒගොල්ලො කරන දේවල් අපි ජීවත් වෙන ලෝකෙ ලස්සන කරනව.
වොක්ස්වැගන් බීට්ල් එකක ඉස්සරහ බොනට් එක ඇරල ඒකෙ එන්ජිම තියෙනවද කියල බැලුවොත් ඔයා කියයි “බොලේ! මේකෙ එන්ජිමක් නෑනෙ...” කියල. ඒත් කාර් එක දුවනව. එහෙනං කාර් එකේ එන්ජිම තියෙන්න ඕනි පිටිපස්සෙ කියල අනුමාන කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනි.
_____
පින්තූරය
Sunday, 3 August 2014
කාලෙකට පස්සෙ
පහුගිය
අවුරුද්දයි මේ අවුරුද්දෙ මුලයි වැඩ කන්දරාවක් කරන්න සිද්ධ උනා. සුදුසුකම් කීපයක්
සම්පූර්ණ කරගන්න ඔනි වෙච්ච අධ්‍යාපන වැඩ. ඉතින් බ්ලොග් එක පැත්තෙ ගැවසෙන්න
වෙලාවක්වත්, අළුතින් මොනාවත් ලියන්න තරං හිතේ එකලාසයක්වත් තිබ්බෙ නැහැ. කොටින්ම
හරි හමන් විදිහට නිදාගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. ඒ වැඩ වලින් වැඩි හරිය ඉවර කරල
යාන්තං ඔළුව උස්සගත්තම තමයි බ්ලොග් එකට ගොඩවෙන්න වෙලාවක් හම්බ උනේ.
කියවන්නෙ
නැතිව ගොඩ ගැහිල තිබ්බ මාස ගානක පෝස්ට් ගොඩ යන්තං කියවල ඉවර කරේ ගිය සතියෙ.
කියවන්නං කියල අරගත්තත් තාම අතවත් තියන්න බැරි වෙච්ච පොත් ගොඩකුත් තියෙනව. ජීවිතේට
වැදගත් දෙයක් එකතු කරගන්න ගියාමත් තමං කරන්න ආස කරන දේවල් අතාරින්න සිද්ධ වෙනව
නේද? සමහර විට ටික කාලෙකට. සමහර විට සදහටම.
අනිත් අතට අපි
මොනා කරත් මොනා නොකරත් වගේ වගක් නැතිව ජීවිතේ ගලාගෙන යනව. එතකොට අපිට එක්කො අඳුරට
සාප කර කර ඉන්න පුළුවං එහෙමත් නැත්නං එක පොඩි එළියක් හරි පත්තු කරල තියන්නත්
පුළුවං. අනුන් වෙනුවෙන් වගේම තමන් වෙනුවෙනුත්.
Tuesday, 30 April 2013
යුගයෙන් යුගය
ළමා කාලෙ ඉඳල තරුණ වයසට පියමං කරල ඉන්න අපි දැන් ටිකින් ටික මහළු වයස දිහාවට ඇදෙනව. අද ඊයෙක දෙයක් වගේ දැනුන උනත් ඉස්කෝලෙන් පිටවෙලා දැන් අවුරුදු ගානක් වෙනව. ඉස්කෝලෙ කාලෙ ගෙවිල ගියාට වැඩිය ඉක්මනින් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ආපු කාලෙ ගෙවිල යනව...
ගෙවිච්ච කාලෙදි අපි මුහුකුරා වැඩිල (අඩුම තරමෙ අපි එහෙමයි කියල හිතාගෙන ඉන්නව). ලෝකෙ ගැන එදා තිබ්බට වැඩිය දැනුම් තේරුම් ඇතිවෙලා. ඒත් අපේ සමහර මෝඩකං තවමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනව.
මේ ගෙවිච්ච අවුරුදු අට, දහය ඇතුලත අපි කොච්චරනං වෙනස් වෙලාද? ඒ කාලෙ අපි පාසැල් ශිෂ්‍යයො. බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන ඊට නොදෙවනි බරක් පොත් බෑග් විදිහට කරගහගෙන ඉස්කෝලෙ ගිය පොඩි කොල්ලො. අද අපි වගකිවයුතු රස්සා කරන වැඩිහිටියො (ඒ ගැනනං කවර කතාද...?). ඒත් අපේ බලාපොරොත්තු ගොඩ ඒ දවස්වල දැනිච්ච විදිහටම බරට දැනෙනව. ඒවගෙ හැඩෙයි පාටයි වෙනස් වෙලා විතරයි.
බරක් පතලක් නැතුව ලෝකෙ දිහා බලපු කාලෙ ගෙවිල ගිහිං. ඒ දවස්වල නොදැක්ක සමාජයේ අඳුරු අහුමුළු දැන් අපි වැඩි වැඩියෙන් දකිනව. ඒ නිසාම මොනා හරි කරද්දි, කියද්දි ඒ දේවල් වලින් ලැබෙන්න පුළුවං ප්‍රතිඵල ගැන වෙනදට වඩා වැඩියෙන් හිතල බලල වැඩ කරන්න අපි පුරුදු වෙලා.
ඒ අතරෙ අපේ යාළු මිත්‍රකං එහෙමත් එදා තිබ්බට වැඩිය වෙනස් වෙලා. සමහර පරණ යාළුවොංව අපි අමතක කරල දාල. සමහර යාළුවො ඈතට යන්න ගිහිං. තවත් සමහරක් හිටියට වැඩිය ගොඩක් වෙනස් වෙලා.
වෙනස් වෙලා...!
ඇත්තටම එහෙම නොවුනනං තමයි පුදුමෙ. හැමදේම වෙනස්වෙන ලෝකෙක යාළුකම කියන බැඳීම විතරක් වෙනස් නොවී තියේවිද? අපි දැන් වෙන වෙන පාරවල්වල යන මිනිස්සු. අපි ගමන් ගන්න පාර අපිව වෙනස් කරනව... අපිට ලැබෙන අත්දැකීම් අපිව වෙනස් කරනව... ඉතින් අත්‍යාවශ්‍යයෙන්ම අපේ යාළු මිත්‍රකං එහෙමත් ඒ එක්කම වෙනස් වෙනව. ඒ නිසා කල් ගතවෙද්දි තමන්ගෙ යාළුවන්ව ටිකක් ඈතට තල්ලු කරල දාන එක, තමන්ගෙ යාළුවන්ගෙන් ටිකක් ඈත් වෙන එක සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි නේද? මොකද එහෙම පාදගන්න ඉඩකඩ තමන්ගෙ ජීවිතේ ඇතිවෙන වඩා වැදගත් බැඳීම් වලට අවශ්‍ය වෙන නිසා.
ඒක තමයි ලෝක සොබාවය...
ජීවිතේ කියන්නෙ කෙනෙක් තනියම කල්පනා කරල, තනියම තීරණ අරගෙන ඒ තීරණ වල ප්‍රතිඵල විඳගන්න ගමන් තනියම යන ගමනක් කියල කිව්වොත් ඔයගොල්ලො ඒ කතාව සම්පූර්ණයෙන්ම පිළි නොගන්න පුළුවං. ඒත් අපි වටේ ඉන්න හැමෝම අපිට තීරණ ගන්න හේතු සපයන එක්තරා ආකාරයක ප්‍රේක්ෂකයො පිරිසක් විතරයි කියල හිතෙන්නෙ නැද්ද? වෙලාවකට ඒ අය අපේ හොඳ කියනව... තවත් වෙලාවකට ඒ අය අපිව පාච්චල් කරනව... වෙලාවකට වෙට්ටු දාල හොම්බ බිම ඇනෙන්න සලස්සනව. වාසනාවකට වගේ වැටිච්ච වෙලාවට ආයෙ නැගිටගන්න අතදෙන කට්ටියකුත් ඉන්නව.
ඉතිං ඔය දේවල් විඳගෙන තමන් යන පාරෙ දිගටම යනවද? එහෙමත් නැත්නම් අපි අපේ ගමන යද්දි මග ඉඳන් බුරාගෙන පනින බල්ලන්ට ගල් ගහන්න කියල හිතාගෙන උංව එළවං යන්න අපි එතෙක් යමිං හිටපු පාරෙන් හැරිල උං යන පාරෙ යනවද කියල තීරණය කරන්න ඕනිත් අපිමයි නේද? මොකද අන්තිමේදි අපිට ලඟා වෙන්න පුළුවං අපි තෝරගත්ත පාර කෙළවර වෙන තැනට විතරයි. කෙනෙක් යන්න පාරක් තෝරගත්තම එයා ගමනාන්තෙත් තෝරගත්ත වෙන්නෙ ඒ නිසයි...
ප. ලි.
මේ අගක් මුලක් නැති පෝස්ට් එක කියවද්දි මේක ලියන එකාට පිස්සු හැදීගෙන එනවාවත්දෝ කියල හිතුනනං එහෙම, පෝය පහුවෙලා එච්චර දවසක් ගිහිං නැති බව කරුණාවෙන් සලකන්න.
_____
පින්තූරය
Sunday, 31 March 2013
සමබර වීම
මේ ජාතියෙ සෙල්ලම් බඩු ඔයගොල්ලො දැකල ඇතිනෙ...
ඒ දවස්වල මාව පුදුම කරවපු දේවල් වලින් එකක් තමයි ඔය. කොයි පැත්තට හැරෙව්ව උනත් මේව අන්තිමට මුල් පිහිටීමටම ඇවිල්ල හෙමීට නවතින්නෙ හරියට එක්තරා ආකාරයක මායා බලයකින් ඒ දේ සිද්ධ වෙනව වගේ.
මේ සෙල්ලම් බඩුවලට මෙහෙම සුවිශේෂී සමබරතාවයක් ඇවිල්ල තියෙන්නෙ ඒකෙ සම්පූර්ණ බරම තනි ලක්ෂ්‍යයකට එක්තැන් වෙන විදිහට හදල තියෙන නිසා. එතකොට වෙන්නෙ වස්තුව සමබරව තියන්න පුළුවන් පිහිටීම් එකක් විතරක් ඇතිවෙන එක. ඒකයි ඒක කොහොම කරත් එකම පිහිටීමකට ඇවිල්ල සමබර වෙන්නෙ.
සමබරතාවය කියන එක හැම දේටම බලපාන වැදගත් සංසිද්ධියක්. බලාගෙන ගියාම ඒක නැති තැනක් නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං ඕනි තරං උදාහරණ හොයාගන්න තිබ්බ.
අව්ව, වැස්ස ඇතිවෙන එකේ ඉඳන් හොද්දකට හරි ගානට ලුණු දාන එක වෙනකම්ම සමබරතාවය පිළිබඳ නීතිය වැඩ කරනව.
නිකමට හිතන්න අපිට ගිණි තපින්න ඕනි උනා කියල. ගිණි තපින්න කියල ඕනිවට වඩා ගිණි ගොඩට ලං උනොත් පිච්චෙනව... ඕනිවට වැඩිය ගිණි ගොඩින් දුරස් උනොත් ගිණි තපින්න ඕනි තරං රස්නෙ ලැබෙන්නෙ නෑ...
ඔය සමබරතාවයම ටිකක් ලොකුවට ඉරයි පොළොවයි අතරෙත් තියෙනව. පොළොව දැන් තියෙනවට වඩා ඉරට ලං උනානං ජීවය ඇතිවෙන්න බැරි තරමේ උෂ්ණාධික ග්‍රහලෝකයක් වෙන්න ඉඩ තිබ්බ. හරියට සිකුරු වගේ... එහෙම නොවී දැන් තියෙනවට වඩා ඉරට දුරින් පොළොව තිබ්බනං පොළොව මතුපිට වතුර ඔක්කොම අයිස් වෙනව...
හැබැයි මොනම දෙයක්වත් එක දිගටම එකම සමබර අවස්ථාවෙනං තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට එක සමබර අවස්ථාවක ඉඳල වෙනත් සමබර අවස්ථාවකට මාරුවෙන්න සිද්ධවෙන එක ඕනිම දේකට පොදු දෙයක්. එහෙම වෙනකොට පොඩි පොඩි හැලහැප්පීම් වලට මූණ දෙන්නත් සිද්ධ වෙනව...
අපේ ජීවිතත් ඒ වගේ නේද?
ජීවත් වෙන එක ආයාසකර දෙයක් නොවෙන්නනං ජීවිතෙත් සමබර වෙන්න ඕනි. ඒකට අළුතින් දේවල් එකතු වෙද්දි කලින් තිබ්බ සමබරතාවය පොඩ්ඩක් විතර එහා මෙහා වෙනව. එතකොට එක්කෝ ආයෙත් සමබරතාවය ඇතිවෙන විදිහට ඒ වෙනකං අපි ජීවිතේ සමබරව තියාගත්ත ලක්ෂ්‍යය පොඩ්ඩක් විතර එහා මෙහා කරන්න සිද්ධ වෙනව. එහෙමත් නැත්නං කලින් තිබ්බ ලක්ෂ්‍යය වටේට ආයෙත් ජීවිතේ සමබර වෙන විදිහට ජීවිතේට අපි එකතු කරං තියෙන දේවල් වලින් කොටසක් ඈත් කරන්නත්, තවත් කොටසක් ලංකරගන්නත් සිද්ධ වෙනව.
මමත් මේ ටිකේ ඔය විදිහෙ සමබර කිරීමේ මෙහෙයුමක් කරන ගමන්. ඉගෙන ගන්න වැඩ ටිකක් ලං කරගෙන ඉන්න නිසා ටික දවසකට බ්ලොග් කෙරුවාව ටිකක් විතර දුරස් කරන්න වෙලා...
ලියන එක කෙසේ වෙතත් කියවන එක අතාරින්නනං අදහසක් නෑ... :)
________
පින්තූරය
http://www.thescienceoutlet.com/Images/Product_Images/BalancingEagle.jpg
Tuesday, 1 January 2013
ජීවත් වෙනව කියන්නෙත් කේක් හදනව වගේ වැඩක්
මේ ගෙන්දගං පොළොවෙ හැප්පි හැප්පි ජීවිතේ වටිනාකම ඒකෙන් උපය ගන්න උත්සාහ කරද්දි හිතේ නිදහස කියන එක හොයා ගන්නෙ කොහොමද? එකක් පස්සෙ එකක් මූණ දෙන විභාග, සම්මුඛ පරීක්ෂණ, උසස් වීම්... මේව ඇත්තටම නිදහස දිහාවට යන පාරෙ තියෙන දේවල්ද? ඒක එහෙමනං සාර්ථකත්වය දිහාවට පඩියෙන් පඩිය ඉහල නගින කොට, දරන්න වෙන තනතුරේ විභවය ටිකින් ටික වැඩි වෙනකොට අපිට අත්විඳින්න ලැබෙන මානසික නිදහසේ වපසරිය කුඩා වෙන්නෙ මොන අරුමයකටද?
ගිය අවුරුද්ද කෙලවර වෙද්දි හිතේ තිබ්බෙ ඔය වගේ දේවල් ටිකක් තමයි. කාර්ය බහුල අවුරුද්දකට පස්සෙ දෙසැම්බර් මාසෙ වෙද්දි මම හොඳටම හෙම්බත් වෙලයි හිටියෙ. කොච්චර මහන්සි වෙලා වැඩ කරා උනත් වෙලාවකට අන්තිම ප්‍රතිඵලේ දැක්කම හිතෙනව ජීවිතෙන් මං බලාපොරොත්තු උනේ මේකද කියල. හරියට වතුර ගන්න බලාගෙන කළය මුනින් නැව්වම ඒකෙ වතුර වෙනුවට වැලි තිබ්බ වගේ.
මෙහෙම හැමදේම අවුල් ජාලාවක් වගේ පේන්න ගත්තම හිතේ නිදහස කියන එකේ අවශ්‍යතාවය තදින්ම දැනෙනව. ඉතින් මං කරේ රස්සාවෙ වැඩ, ඉගෙනීම් කටයුතු, සයිබර් අවකාශය කියන හැම දේම පොඩ්ඩක් පැත්තකට කරල සතියක්ම නිවාඩු අරගෙන ගෙදර ගිය එක. ඔය දේවල් වලින් පොඩ්ඩක් ඈත් උනාම; හිතේ හැටියට නිදාගන්න ලැබුණම; තුන් වේලම කටට රහට බඩ පිරෙන්න කන්න ලැබුණම හිත නිදහස් කරගෙන කල්පනා කරන්න ලේසියි. හිතේ නිදහස හොයා ගන්න ලේසියි.
මං කඳුකරේ ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා මගේ ආධ්‍යාත්මයෙන් වැඩි කොටසක් කඳුකරේට අයිති දේවල් එක්ක බැඳිල තියෙනව. මගේ හිතේ නිදහස ගොඩක් වෙලාවට නිර්වචනය කරගන්න පුළුවන් වෙන්නෙ ඒවගෙන්. ඉර එළියෙ දිලිසෙන කදු මුදුන්... සීතල මද සුළඟ... තරු පිරිච්ච අමාවක රෑ අහස... ගස් වැල්... කුඩා දොළ පාරවල්... හිතේ ඇතිකරන නිදහස් සාමකාමී හැඟීම වෙන දේවල් වලින් මං අත්විඳල නැහැ.
කඳු මූණතක වැවිච්ච් තණකොළ පලසක දිගෑදිල නිල් අහස් පසුබිමේ වළාකුළු කැරළි පාවෙන හැටි බලාගෙන ඉඳිද්දි; එහෙමත් නැත්නං සීතල උදේක අරුණාලෝකෙට යටින් කඳු බෑවුම් දෙකක් හාවෙන දඟර ගැහිච්ච රේඛාව දිගේ ගලාගෙන යන ඔයකට උඩින් සුදු උඩු වියනක් හදාගෙන ගලා බහින මීදුම් ගංගාව දැක්කම හිතේ ඇතිවෙන උද්දාමය සුවිශේෂීයි.
ඒ වගේමයි ෆයිනස් යායවල් හරහා හමාගෙන යන හුළඟ ඇතිකරන හෝ හෙඬ් ගුප්ත බවත්...
ඔය දේවල් පුදුමාකාර විදිහට හිත සංහිඳියාවකට පත් කරනව. සමහරවිට ඒ එතන තමන් සතු කරගන්න කිසිම දෙයක් නැති නිසා වෙන්න ඇති. මට හිතෙන විදිහටනං සොබාදහම අත්විඳින්න ඕනිත් ඒ විදිහටයි. තමන්ගෙ කර ගැනීමේ ආසාවකින් තොරව... එතකොට තමයි සොබාදහම හිතේ තුවාල සුවපත් කරන බෙහෙතක් වෙන්නෙ.
සොබා සිරිය විඳගෙන මගේ පොත් එකතුවේ ප්‍රියතම පොත් ටිකත් වට කරගෙන නිවීහැනහිල්ලෙ ඉන්නකොට ජීවිතේ ගැන තීරණ ගන්න, අනාගතේට ඕනි සැලසුම් හදන්න, ඔළුවෙන් අනවශ්‍ය බර අයින් කරගන්න ලේසියි. තමන් විසින්ම ජීවිතේ ඕන නැති විදිහට කොච්චරනං සංකීර්ණ කරගෙනද කියල පේන්න ගන්නෙත් එහෙම වෙලාවටම තමයි. ගෙවිච්ච අවුරුද්ද ගැන ආවර්ජනයක් කරන්නත් එන අවුරුද්දට සැලසුම් කීපයක් ඇඳගන්නත් ඒ වෙලාව මසුරං වටිනව.
මේ අවුරුද්දට මහා ලොකුවට නැතත් කරන්න ඕනි කියල හිතාගෙන ඉන්න වැඩ දෙක තුනක් තියෙනව. මම ඒවට මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් තියේවි කියන විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මොනා කරත් අන්තිමේදි ඉතුරුවෙන වැදගත්ම දේ තමයි තමන්ට තමන්ගෙ හිතේ නිදහස කරන දේ හරහා හොයා ගන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක. හිතේ නිදහසක් නැත්නං වෙන මොනා තිබ්බත් වැඩක් නැහැ.
හිතේ නිදහස හොයාගෙන ජීවත් වෙන එක ගැන කතා කරද්දි මං මේ මෑතකදි කියවපු පොතක තිබ්බ ලස්සන කතාවක් මතක් උනා.
“ජීවත් වෙනව කියන්නෙත් හරියට කේක් එකක් හදනව වගේ වැඩක්. සමහරුන්ට කේක් එකක් හදන්න ඕනි වෙන හැමදේම ලැබෙනව. තවත් සමහරෙක්ට ඕනි කරන හැම දේම ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට ඒ අයට ලැබෙන්නෙ ගුල්ලො ගහපු පිටි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරණ වෙච්ච බටර් වෙන්න පුළුවන්. ඒත් වැදගත්ම දේ තමයි තමන්ට තියෙන අඩුම කුඩුම ටික එකතු කරගෙන හදන්න පුළුවන් හොඳම කේක් ගෙඩිය හදා ගන්න එක. මොකද සමහර වෙලාවට හැම දේම තිබිලත් කේක් එක හරියට හදා ගන්න බැරි කට්ටිය ඉන්නව.”
එහෙනං ලැබුවා වූ නව වසර හැමෝටම තම තමන්ගෙ හිතේ නිදහස හොයා ගන්න පුළුවන් වෙන සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. :D
_____
පින්තූරය
Sunday, 2 December 2012
තෙවන ඛේදවාචකය
1994 ජූලි විසිහත්වෙනිද හවස තිස් තුන් හැවිරිදි කෙවින් කාටර් තමන්ගෙ රතු නිසාන් පිකප් රථය ජොහැන්නස්බර්හි බ්‍රෑම්ෆොන්ටීන්ස්පෘෘට් නදිය අසල ‘ක්ෂේත්‍ර සහ අධ්‍යයන කේන්ද්‍රය’ (Field and Study Center) ලඟ තිබිච්ච ඉයුකැලිප්ටස් (blue gum) ගහ යට නවත්තදි කවුරුවත් ඒ ගැන වැඩිය සැක කරන්න යන්න නැතුව ඇති. ක්ෂේත්‍ර සහ අධ්‍යයන කේන්ද්‍රය කෙවින්ට ආගන්තුක තැනක් නෙවෙයි. එයා පුංචි කාලෙ නිතරම සෙල්ලම් කරන්න ආවෙ එතනට.
සමහරවිට කෙවින් ඒ වෙලාවෙ එන්ජිම නිවල දාල ඩ්‍රයිවින් සීට් එකට හේත්තු වෙලා සුක්කානමට ඇඟිලි තුඩු වලින් තට්ටු කර කර තමන්ගෙ කුඩා කාලෙ මතක එකින් එක ආවර්ජනය කරන්න ඇති...
කුඩා කාලෙට පස්සෙ ගෙවිච්ච හැල හැප්පිලි සහිත ජීවිතේ... හමුදා සේවයට බැෙඳන්න සිද්ධ වීම... එතනදි කළු ජාතිකයෙක් වෙනුවෙන් පෙනී හිටපු නිසා ‘තමංගෙම අයගෙන්’ අඩංතේට්ටං විඳින්න සිද්ධ වීම... හමුදා සේවෙට පස්සෙ කරගහපු ඡායාරූප වාර්තාකරණය (Photojournalism)... වාර්තාකාරයෙක් විදිහට තමන් අහපු දැකපු දේවල්... තමන්ගෙ කැමරා කාචයට හසුකරගත්තු දේවල්... පුලිට්සර් සම්මානයක් එක්ක තමන්ව ලෝක ප්‍රසිද්ධ කරපු ඡායාරූපය... අන්තිමේදි තමන්ගෙ අතිජාත මිත්‍රය, කෙන් ගෙ හදිසි මරණය...
ඒ අන්තිම සිතිවිල්ල මෙච්චර වෙලා කෙවින් ගිලිල හිටිය සිතිවිලි දාමෙ බිඳල දාන්න ඇති...
කෙවින් තමන්ගෙ පිකප් රථයෙන් බැහැල ඒකෙ පිටිපස්සෙන් වතුර දාන්න ගන්න හෝස් බටයකුයි ටේප් රෝලකුයි අරගෙන වාහනේ දුම්බටය ගාව ඇණතියා ගත්ත. හෝස් බටයෙ එක කෙලවරක් දුම් බටේට ඔබපු ඔහු ඒක ගැලවිලා නොවැටෙන්න එතන ටේප් කරා. හෝස් බටේ අනිත් කෙලවර ගෙනල්ල මගී අසුන ගාව ජනේලෙන් ඇතුලට දාල වීදුරුව ඉස්සුව. මේ හැමදේම ලෑස්ති කරල ආයෙත් වාහනේට නැගගෙන එන්ජිම පණ ගන්වපු කෙවින් තමන්ගෙ වෝක්මන් එක ක්‍රියාත්මක කරල ඔළුවට කොට්ටයක් විදිහට තමන්ගෙ ඔලොගුව තියාගෙන සීට් එකේ ඇලඋනා.
හෝස් බටේ දිගේ ඇවිල්ල වාහනය ඇතුලෙ පිරෙන්න ගත්ත කාබන් මොනොක්සයිඩ් වායුව තමන්ව මරණය දිහාවට අරගෙන යනකම්ම කෙවින් ඒ විදිහට ඇල වෙලා හිටිය.
මේ කෙවින්ගෙ අන්තිම ලිපියෙන් කොටසක්...
"I'm really, really sorry. The pain of life overrides the joy to the point that joy does not exist...depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money! ... I am haunted by the vivid memories of killings & corpses & anger & pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners... I have gone to join Ken if I am that lucky."
“මට ඇත්තෙන්ම බොහොම කණගාටුයි. ජීවිතයේ වේදනාව සංතෝසය කියන එක ඉතිරි නොවෙන තැනටම පාගල දාල. දුරකථනයක් නැතුව... කුලී ගෙවාගන්න සල්ලි නැතුව... ළමයි වෙනුවෙන් වියදම් කරන්න සල්ලි නැතුව... ණය ගෙවා ගන්න සල්ලි නැතුව... මං මානසික අවපීඩනයට ගොදුරු වෙලා. මිනීමැරීම් සහ මළසිරුරු ගැන, වෛරය සහ වේදනාවන් ගැන... හාමත් වෙච්ච හරි තුවාල ලබපු හරි ළමයින් ගැන... තුවක්කු වල කොකා ගස්සන්න ආසාවෙන් ඉන්න උන්මත්තකයන් - ගොඩක් වෙලාවට පොලිස් කාරයො - ගැන... මිනීමරුවන්ව මරල දාන අළුගෝසුවො ගැන පැහැදිලිව තැන්පත් වෙච්ච මතකයන් මගේ හිතේ හොල්මන් කරනව. මම යන්න යනව. වාසනාව තිබ්බොත් කෙන් ව මුණගැහෙන්න.”
මේ උඩ පින්තූරෙ ඉන්නෙ ඒ විදිහට සියදිවි හානි කරගත්ත කෙවින්. ඔයගොල්ලො ගොඩක් වෙලාවට කෙවින්ව නොදන්නව වෙන්න පුළුවන් ඒත් කෙවින්ට පුලිට්සර් සම්මානෙ ලබා දීපු එයාගෙ මේ ඡායාරූපෙ එක පාරක් හරි ඔයගොල්ලො දැකල ඇති.
මුලින්ම මේ පින්තූරෙ දැක්ක දවසෙ මට ඒක ලොකු කම්පනයක් ඇකි කරා. මේ ෆොටෝ එක පික්සල් එකක් පික්සල් එකක් ගානෙම සෙලෝලොයිඩ් පටියක් මත්තෙ ගල් ගැහිච්ච ඛේදවාචකයක්. මේක දැක්ක දවසෙ ඉඳල ෆොටෝ එක ගත්ත කැමරාකාරයත් එක්ක මට තිබ්බෙ පුදුම තරහක්.
“අර කිරිසප්පයෙක් බඩගින්නෙ මැරෙන්න යද්දි, ගිජු ළිහිණියෙක් ඇවිල්ල ඒ පොඩි එකා මැරෙණකං බලා ඉද්දිත් මේ ගෝතය කිසි හිතක් පපුවක් නැතුව ඒ දිහාට කැමරාවක් මානගෙන හිටියනෙ.” කියලයි මට හිතුනෙ.
මේ ලිපියට කරුණු එකතු කරන්න පටන් ගන්නකොටත් ඒ තරහ හිතේ කොනක පැසව පැසව තිබ්බ. ඒත් කෙවින් කාටර් ගෙ ජීවිතය සහ මරණය ගැන ලියවෙච්ච මේ ලිපිය (THE LIFE AND DEATH OF KEVIN CARTER Visiting Sudan, a little-known photographer took a picture that made the world weep. What happened afterward is a tragedy of another sort.) කියෙව්වට පස්සෙ කෙවින් ගැන අනුකම්පා නොකර ඉන්න බැරි උනා. කෙවින් කාටර්ගෙ ජීවිතය වගේම මරණයත් එක්තරා විදිහක ඛේදවාචකයක්. තමන්ගෙ වෘත්තීය ජීවිතේ නිසා (ඔහු ඒක තෝරගත්තෙ ඇයි? සමහරවිට සල්ලි නිසා...?) කෙවින්ට තමන්ගෙම හෘද සාක්ෂිය හිරිවට්ටල තියාගන්න සිද්ධ උනා. තමන්ට එදිනෙදා මුනගැහෙන බයානක අමනුස්සකං දකින්න සිද්දවීමම ඔහුව නොමරා මරන්න ඇති. හිරිවට්ටපු හෘද සාක්ෂියකට උනත් දරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනව. අන්තිමේදි දරාගන්න පුළුවන් උපරිම සීමාවෙදි ඒක බිඳිල යන්න ඇති.
කෙවින් කාටර් අර ඡායාරූපය ගත්ත දවස ගැන එක තැනක මෙහෙම විස්තර වෙනව...
Immediately after their plane touched down in the village of Ayod, Carter began snapping photos of famine victims. Seeking relief from the sight of masses of people starving to death, he wandered into the open bush. He heard a soft, high-pitched whimpering and saw a tiny girl trying to make her way to the feeding center. As he crouched to photograph her, a vulture landed in view. Careful not to disturb the bird, he positioned himself for the best possible image. He would later say he waited about 20 minutes, hoping the vulture would spread its wings. It did not, and after he took his photographs, he chased the bird away and watched as the little girl resumed her struggle. Afterward he sat under a tree, lit a cigarette, talked to God and cried. "He was depressed afterward," Silva recalls. "He kept saying he wanted to hug his daughter."
අයොද් ගම්මානයේ ඔවුන්ගේ ගුවන් යානය ගොඩබස්සපු හැටියෙම වගේ කාටර් සාගතයට ගොදුරු වෙච්ච අයගෙ ඡායාරූප ගන්න පටන් ගත්ත. බඩගින්නෙ මැරෙන්න යන විශාල පිරිසකගෙ දර්ශණයෙන් ටිකක් ඈත් වෙන්න හිතපු ඔහු ලඟ තිබුන අකුලක් දිහාට ගියා. එතනදි මෘදු ඒත් උස් හඬකින් ඇහුනු අඬන සද්දයක් ගැන විපරම් කරද්දි තමයි ඔහු ආහාර ලබාදෙන තැනට යන්න උත්සාහ කරන පුංචි ගෑණු ළමයෙක්ව දැක්කෙ. ඔහු බිම වකුටු වෙලා ඒ ළමයගෙ පින්තූරයක් ගන්න හදන වෙලාවෙ ගිජු ළිහිණියෙක් ඒ කිට්ටුවෙන් වහනව. කුරුල්ලව කලබල නොකර හොඳ දර්ශණයක් ලබා ගන්න ඔහු සීරුවෙන් එහා මෙහා වෙනව. ඔහු පස්සෙ කියපු විදිහට ළිහිණියා පියාපත් විහිදයි කියන බලාපොරොත්තුවෙන් ඔහු ඒ විදිහට විනාඩි විස්සක් විතර බලාගෙන ඉඳල තියෙනව. ඒත් ඌ පියාපත් විහිදල නෑ. ඔහු ඡායාරූපය අරගෙන ඉවරවෙලා කුරුල්ලව එළවල දාල අර පුංචි ගෑණු ළමය කරන අරගලය දිහා බලාගෙන හිටියලු. පස්සෙ ඔහු ගහක් මුල වාඩිවෙලා සිගරට් එකකුත් පත්තු කරගෙන දෙවියන්ට කන්නලව් කර කර ඇඬුවලු. පසුකාලීනව ඔහු මානසික අවපීඩනයට භාජනය උනා. තමන්ගෙ දුව තුරුළු කර ගන්න ඕනි කියල ඔහු දිගින් දිගටම කියන්න ගත්ත...
ඒක තමයි කෙවින්ගෙ ඛේදවාචකය...
දැන් කියන්න යන්නෙ ඔය වගේම තුන් වෙනි ඛේදවාචකේ ගැන. අවාසනාවට ඒක දැං ලංකාවටත් බෝවේගෙන යනව. මොකක්ද දන්නවද? අනිත් මිනිස්සුන්ගෙ දුක ඡායාරූපගත කරල මාධ්‍ය වල ප්‍රචාරය කිරීම. විශේෂයෙන්ම මූණු පොතේ. වඳුරන් විසින් තාක්ෂණය භාවිතා කිරීම...
ඉස්සරනං අපේ මිනිස්සු කරේ කරදරයක් වෙච්ච කෙනෙක් දැක්කම තමං යන ගමන හරි නවත්තල ඇවිත් උදව් කරන එක. ඒ මිනිස්සුන්ට එච්චර මනුස්ස කමක් තිබ්බ. මිනිස්සුන්ගෙ දුකේදි විතරක් නෙවෙයි සතා සිව්පාවගෙ දුකේදිත් උණුවෙන හදවත් තිබ්බ. ඒත් දැං කාලෙ සමහර අය කරන්නෙ මැරෙන්න පණ අදින කෙනා දිහාට හරි කමක් නෑ කැමරා ෆෝන් මානන එක. කොහොම හදවතක් තියෙන කෙනෙකුටද එහෙම කරන්න පුළුවන්?
තුවාලෙක දුක වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා. වෙන කාටවත් ඒ දුක ඒ විදිහට දැනෙන්නෙ නෑ. එක හේතුවක් තමයි අපේ සීමාවන් විසින් ඇතිකරල තියෙන නොහැකියාව. අනෙක් දේ තමයි අනිත් මනුස්සය විඳින දුක තේරුං ගන්න අපිට උවමනාවක් නැති කම. සමානාත්මතාවය නැතිකම...
වෙන අයගෙ දුක දිහා එක්තරා විදිහක ‘විශ්ම සාධකයක්’ (wow factor) එකක් එක්ක බලන්න ගොඩක් අය පුරුදු වෙලා. ඒගොල්ලො අනිත් අයගෙ දුක විග්‍රහ කරන්නෙ මෙන්න මෙහෙම...
“බලන්ඩ එපැයි මචං.... ‘මේඒඒඒන්න’ තුවාලෙ... ආයෙ කියල වැඩක් නෑ... පික්සු හැදෙනව...”
ලෝකෙ හොඳ තැනක් කරන්නනං ලෝකෙට ඕනි හොඳ මිනිස්සු මිසක් අපි ‘අහවල්ලු’ කියාගෙන රෙදි කරේ තියාගෙන පාරක් පාරක් ගානෙයි මූණූ පොතේ වෝල් එක පුරාමයි විගඩං නටන උංදල නෙවෙයි.
ඒක නිසා ඉස්සරවෙලා තමුන්ගෙ මනුස්සකම හොයා ගන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි... ලෝකෙ ඉන්න හොඳ හදවත් තියෙන මිනිස්සුත් එක්කෙනා දෙන්න අකාලෙ මැරිල යන්න පටන්ගෙන තියෙන කාලෙක අපි අපේ මනුස්සකං ටික රැකගත්තෙ නැත්නං අපිට අන්තිමේදි ඉතුරු වෙන්නෙ අපායක් වගේ ලෝකයක්...
මේ ටිකත් ලියල තියලම ලිපිය අවසන් කරන්නම්...
ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...ලදදේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...පොළොවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සූ...කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ...!පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ...දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ...ඉඳහිට හෝ සපැමින සිත් සතන් සැනැස්සූ...කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...!ඉතිරීගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ...දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ...සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ...කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ...!
මං දැන අඳුනාගෙන සිටි මිනිසුන් අතර මනුස්සකමින් සපිරි මනුෂ්‍ය රත්නයක් වූ බූඩි අයියාට...
මූලාශ්‍ර:
Wikipedia
THE LIFE AND DEATH OF KEVIN CARTER Visiting Sudan, a little-known photographer took a picture that made the world weep. What happened afterward is a tragedy of another sort.
Kevin Carter: The Consequences of Photojournalism
_____
පින්තූර
Saturday, 17 November 2012
චිත්‍රපටි ටොකු...
මීට කලින් මොළේ පෑදිල තිබ්බ නැති තැන් වලින් මොළේ පාදවන්න උදව් වෙන, කලින් නොබලපු කෝණයකින් ජීවිතය දිහා බලන්න අපිව යොමු කරවන කතන්දර අපිට ඉඳ හිට අහන්න, දකින්න ලැබෙනව. මං නං ඒවට කියන්නෙ ‘බුද්ධියට ටොකු ඇනීම’ කියල.
මේ වගේ කතා වැඩි හරියක් මට හම්බවෙලා තියෙන්නෙ පොත්වල සහ සඟරාවල තිබිල. ඊට අමතරව ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි...
ටෙලි නාට්‍ය කිව්වම අර මාගල් වගේ දිග ‘මෙගා සීරීස්’ එහෙම නෙවෙයි. ඒවගෙං ජීවතේ සුබසිද්ධියට ගන්න පුළුවං දෙයක් තියෙයි කියල මට හිතන්නෑ. මං කියන්නෙ ඒකාංගික ටෙලිනාට්‍ය ගැන.
සමස්තයක් විදිහට ගත්තම ලංකාවෙ ඒකාංගික ටෙලි නාට්‍ය කලාව සැලකිය යුතු තැනක තියෙනවයි කියන එකත් නොකියම බෑ. ජීවිතේ ගැන හිතට දැනෙන්න කතා කරන්න, එන්න එන්න කාර්ය බහුල වෙන සංකීර්ණ සමාජ ක්‍රමය ඇතුලෙ දියවෙලා යන මානුෂීය ගුණාංග අපිට මතක් කරල දෙන්න මේ නාට්‍ය වලට තියෙන හැකියාව සුවිශේෂීයි. මට තියෙන හොඳම උදාහරණ තමයි “සංසාරේ පියසටහන්”, “සිත නිවන කතා” සහ “මල්ගුඩි දවස” (නාට්‍ය ලංකාවෙ එකක් නොවුනත් සිංහලෙන් හඬකවල තියෙනවනෙ).
එතකොට චිත්‍රපටි...?
සිංහල සහ හින්දි චිත්‍රපටි ගැන මට කියන්න දෙයක් නැති තරං. මොකද ඒ දෙජාතියම බලන්න වැඩි උනන්දුවක් මට නැති නිසා. ඔය දෙජාතියෙම මගේ හිතට හරියන විදිහේ චිත්‍රපටි හරි අඩුයි. මෙච්චර කාලෙකට බලපු සිංහල සහ හින්දි චිත්‍රපටි වලින් හිත ගිය චිත්‍රපටි තියෙන්නෙ පහක්ද කොහෙද. සිංහල දෙකයි (මචං, සිකුරු හතේ), හින්දි තුනයි (3 Idiots , Taare Zameen Par, Billu Barber).
කොහොම උනත් වැඩිපුර බැලෙන ඉංග්‍රීසි චිත්‍රපටි වලින්නම් ටිකක් දිග ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඇත්ත... වැඩි හරියක් ඉංග්‍රීසි චිත්‍රපටිත් ඔය මොළේ පාදන වර්ගෙ ඒව නෙවෙයි. ඒ උනාට ඒකාකාරී බවින් අඩු සහ විවිධත්වයෙන් වැඩි කතා තේමාවන් තියෙන නිසා තමන්ගෙ රුචිකත්වයට ගැලපෙන චිත්‍රපටි ඉංග්‍රීසි චිත්‍රපටි අතරින් තෝරන්න ලේසියි. මමනං වැඩිපුර බර විද්‍යාත්මක, ක්‍රියාදාම සහ සජීවීකරණ චිත්‍රපටි පැත්තට.
ඉතින් හිතට දැනිච්ච ඉංග්‍රීසි චිත්‍රපටි කීපයක් ගැන ලියන්න හිතුන...
___
The Matrix, Matrix Reloaded සහ Matrix Revolutions කියන්නෙ කල්පනා කරන්න වටින මාතෘකා කීපයක්ම ලබාදීපු චිත්‍රපටි ත්‍රිත්වයක්. සුවිශේෂී දෘෂ්‍ය ප්‍රයෝග (Special Effects) වලටත් කතා තේමාවටත් යටින් එක්තරා විදිහක දාර්ශණික පසුබිමක් මේ කතාවෙ තියෙනව.
බුද්ධිමත් ජීවීන් කොට්ඨාස දෙකකට එක ලෝකයක් බෙදා ගන්න සිද්ධ උනාම ඇතිවෙන බල අරගලය විසින්ම ඒ ලෝකයත් එහි වාසීන් සියළු දෙනාවත් විනාශයට පැමිණීම සිද්ධ උනේ ඇයි කියන ප්‍රශ්ණෙ මේ කතාව හරහා මතු කරනව වගේම; බුද්ධිමත් ජීවීන් උනත් සහජීවනය කියන සංකල්පෙ දිරවගන්න නං කොච්චර දුරට බුද්ධිමත් වෙන්න ඕනිද, කොච්චර දුරට අනිත් අයගෙ වෙනස්කම් ඉවසන්න පුරුදු වෙන්න ඕනිද කියල හිතන්න යොමු කරනව කියලයි මට හිතෙන්නෙ.
ඒත් Matrix චිත්‍රපට මාලාවෙන් මතුකරන වැදගත්ම කාරණාව ඕක නෙවෙයි...
යතාර්ථය කියන්නෙ මොකක්ද? යතාර්ථය ගැන හරියටම දැනගත්තොත් අපි ඒක පිළිගනීවිද? එහෙමත් නැත්නම් අපි අපේ ඇස් ඉදිරියෙ මවාපාල තියෙන බොරුවෙම ගැලිල ජීවත් වෙයිද?Matrix ගැන කතා කරපු එකේ Animatrix ගැනත් කතා කරන්න වෙනව. Matrix චිත්‍රපටි තුනේ කියවෙන සිද්ධීන්ට අදාල කතාවෙ ආරම්භය ගැනත් චිත්‍රපටි අතරෙ කතාවෙ තිබ්බ හිස් තැන් පුරවන්නත් හදපු The Animatrix සජීවීකරණ කෙටි චිත්‍රපටි එකතුව මට එක්තරා විදිහක මානසික කම්පනයක් ඇති කරා කිව්වොත් හරි. විශේෂයෙන්ම The Second Renaissance - Part 1 සහ The Second Renaissance - Part 2 කියන කෙටි චිත්‍රපටි දෙක.
***
ලෝකයේ දැනට තියෙන අර්බුද ගැන කතා කරන්න විද්‍යා ප්‍රබන්ධයක් සාර්ථක විදිහට යොදා ගත්ත අවස්ථා වලින් එකක් තමයි District 9 කියන දකුණු අප්‍රිකානු චිත්‍රපටිය.
හැත්තෑ ගණන්වල කේප් ටවුන්වල තිබ්බ ‘හයවෙනි දිස්ත්‍රික්කයේ’ (District Six) ජීවත් වෙච්ච අයව බලෙන් වෙනත් තැනක පදිංචි කරවල තියෙනව. ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි ඇතිවෙච්ච සිද්ධීන් ආභාසයෙන් විද්‍යා ප්‍රබන්ධමය මුහුණුවරකින් තමයි District 9 නිපදවිල තියෙන්නෙ.නීතිය සහ සාමය ආරක්ෂා කරන ආයතන ඇතුලෙ තියෙන රහස් න්‍යාය පත්‍ර, මුදල් වලින් සහ බලයෙන් අන්ධ වීම, එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් පහත් කොට සැලකීම, කළු කඩ ජාවාරම ගැන එහෙම වෙනස්ම කතා තේමාවක් යටතෙ ඉඳගෙන District 9 කතා කරනව.
***
තමන්ගෙ ජීවිතයේ සිද්ධවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මිච් ඇල්බොම් ලියපු Tuesday’s with Morrie කෘතිය ආශ්‍රයෙන් නිපදවිච්ච Tuesday’s with Morrie චිත්‍රපටිය මගේ ෆේවරිට් වලින් එකක්.
වැඩ රාජකාරි එක්ක දඩි බිඩි ජීවිතයක් ගෙවන මිච් සහ වසර දාසයකට පස්සෙ ඔහුට මුණ ගැහෙන ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන මොරී වටේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.දුර්ලභ රෝගයකින් ඔත්පල වෙලා මරණය එළිපත්තේ ඉන්න ගුරුතුමා තමන්ගෙ ප්‍රියතම ශිෂ්‍යයා උන මිච් ට ජීවිතේ ගැන, ජීවත් වෙන හැටි ගැන කියල දෙන ගැඹුරු පාඩම් මාලාව ඇත්තෙන්ම පුදුමාකාරයි. අවුරුදු දාසයකට පස්සෙ අළුත් උන ගුරු ගෝල සබඳතාවය මිච්ව මෙතෙක් නොදුටු විදිහට ජීවිතය දකින කෙනෙක් බවට පත් කරනව...
"When you learn how to die, you learn how to live…""මිය යා යුත්තේ කෙසේදැයි දත් විට ජීවත් විය යුත්තේ කෙසේදැයි දත හැක..."
මිච් ගෙ ගුරුතුමා මොරී කියන්නෙ එහෙමයි.
***
ෆිල්ම් එකක් බලල අඬන පුරුද්දක් මට සාමාන්‍යයෙන් නැති උනත් මේ චිත්‍රපටිය බලලනං ඇඬුන.
අළුත උපන් සිඟිත්තියත් සමග තම භාර්යාව විසින් අත්හැර දමනු ලබන ස්වාමි පුරුෂයෙක් හොඳ තාත්ත කෙනෙක්ගෙ භූමිකාව තනිවම කරගෙන යන්න කරන කැපකිරීම් ගැන කියවෙන I am Sam ජීවිතේ දිහා අළුත් කෝණයකින් බලන්න නිසැකවම ප්‍රේක්ෂකයව යොමු කරන වර්ගයේ චිත්‍රපටියක්.
මානසික සංකූලතාවයක් නිසා අවුරුදු හතක දරුවෙක්ගෙ මානසික පිරිවිතරයට එහා නොගිය මානසික හැකියාවකට විතරක් උරුමකම් කියන මේ තාත්ත තමන්ගෙ දරුවගෙ ඕනි එපාකම් පිරිමහන්න වගේම, තමන්ගෙ මානසික තත්වය නිසා තම දියණියව තමන්ගෙන් ඈත් කරන්න හදන නීතියත් එක්ක ඔට්ටු වෙන්න දරන වෙහෙස මහන්සිය සිත් සසල කරවන සුළුයි.
***
ලෝක විනාශය ගැන හැදිච්ච චිත්‍රපටි කොච්චරවත් බලල ඇති. හැබැයි ඒ හැම එකකටම පොදු වෙච්ච එක දෙයක් තියෙනව. කතාව අපි දකින්නෙ ලෝක විනාසෙන් බේරෙන අයගෙ දෘෂිඨි කෝණයෙන්. Independence Day ගත්තත්, Day After Tomorrow ගත්තත්, 2012 ගත්තත්, එහෙම නැත්නං Battle Los Angeles ගත්තත්, ඒක ඒ විදිහමයි. හැබැයි Seeking a Friend for the End of the World චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඒ වගේ වෙලාවක නොවැලැක්විය හැකි අවසානයකට දින ගැන ගැන ජීවත් වෙන බහුතර සාමාන්‍ය මිනිස්සුංගෙ කතාව...
අපි කවදා නමුත් මැරෙණව... ඒත් අපි මැරෙණ දවස හරියටම දැනගන්න ලැබුනොත් අපිට පිස්සු හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද?අපි නිශ්චිත ඉලක්කයක් නැතුව දවසින් දවස ගෙවා දානව... ඒත් මෙහෙම දෙයක් උනාමයි අපිට තේරෙන්නෙ අපි ගෙවන්නෙ කොච්චර දුරට හිස් ජීවිතයක්ද කියල. අපි ඔළුව උඩ තියාගෙන ඉන්න අදහස් වැඩි හරිය කොච්චරනං බොළඳයිද කියල...
මිනිස්සුන්ගෙන් බහුතරය හොඳ මිනිස්සු හැටියට ඉන්නෙ නීතිය, පිළිගත් සමාජ සාරධර්ම වගේ දේවල් වලින් ඇති කරල තියෙන පීඩනය නිසා. හරියට රබර් බෝලයක් වතුරෙ ඔබාගෙන ඉන්නව වගේ. ඒ දේවල් නැති වෙච්ච ගමන් මිනිස්සු බොහොම ලේසියෙන් නොමිනිස්සු බවට පත් වෙනව...
_____
පින්තූර
Sunday, 11 November 2012
ප්‍රවෘත්ති...? වාර්තාකරණය...??
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........
.
.
.
මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...
මෙන්න ඒ ප්‍රවෘත්තිය නැවතත්...
මීට ටික වේලාවකට කලින් බස් නැවතුමක සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකුට ‘අධෝ වාතයක්’ පිටවී ඇත... මේ හේතුවෙන් බස් නැවතුමේ බසයක් බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත්වූ බව එහි සිටින අපගේ විශේෂ වාර්තාකරු පවසයි...
මේ පිලිබඳ වැඩිදුර විස්තර අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න...
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පපර..... පපර...... පෑං.......... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රප-රප..... පෑං....... පපර...... පෑං.......... පපර...... පෑං..........
පප-රං-පං....... පප-රං-පං....... පප-රං-පං....... පප-රං........
___
පසුවදන:
ලඟදි ගිය එසැනිනින් පුවතක් (Breaking News) එකක් නිසා හිතේ පැළවිච්ච අදහසක්... :)
Thursday, 13 September 2012
පරිවර්තන පොත්
පොත් පත් කියවීම කෑම බීම ගැනීම වගේම ජීවිතයේ අංගයක් කරගත්තු කෙනෙක් “පොත පත කියන්නෙ මනසට ආහාර” කියන කියමන පිළිගන්නව. කෑම බීම වලට අපි එක් එක්කෙනාගේ තියෙන රුචිකත්වය වෙනස් වෙනව වගේම පොත් පත් වලට තියෙන රුචිකත්වයත් එක් කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස්. මගේ මානසික ආහාර වේල ගැන කතා කරොත් ඒකෙ ලොකු කොටසකට අයිතිවාසිකම් කියන්නෙ පරිවර්තන කෘති.
පොත් පත් ගැන වැඩි වැඩියෙන් කතාවෙන මේ කාලෙ පරිවර්තන පොත් ගැන මට තියෙන්නෙ කොයි විදිහෙ ආකල්පයක්ද කියල ලියන්න හිතුන...
පරිවර්තන පොත් තෝර ගන්නකොට මං නං ඉස්සරවෙලාම බලන්නෙ ඒක ‘සංක්ෂිප්ත’ (සාරාංශ ගත කරපු) පරිවර්තනයක්ද ‘අසංක්ෂිප්ත’ පරිවර්තනයක්ද කියලයි. මොකද මම සංක්ෂිප්ත පරිවර්තන වලට පුද්ගලිකව අකමැති නිසා. මට හිතෙන විදිහටනං සංක්ෂිප්ත පරිවර්තනයකින් වෙන්නෙ මුල් කෘතියෙ තියෙන වටිනාකම නැති වෙලා යන එක විතරයි. මුල් කෘතිය රසවිඳීමේ හැකියාව මොට කරන්න සංක්ෂිප්ත පරිවර්තනේකට පුළුවන්.
පොතක් පරිවර්තනය කරනව කියන්නෙ භාරදූර කාර්යයක්. ඒක එක භාෂාවක වචන තවත් භාෂාවකට හරවන ‘වචන හරඹයක්’ විතරක්ම නෙවෙයි. එතනදි භාෂා අතර තියෙන පරතරයට අමතරව සංස්කෘතීන් අතර තියෙන පරතරයත් පියවන්න පරිවර්තකයෙකුට සිද්ධ වෙනව. පරිවර්තනය කරන හැම කෘතියක්ම පරිවර්තකයෙකුට අභියෝගයක් වෙන්නෙ මේ නිසයි.
කොහොම උනත් කෘතියක් පරිවර්තනය වෙනකොට මුල් කෘතියේ ගුණාත්මක භාවයට සුළුවෙන් හරි හානි වෙන එක වලක්වන්න බැරි දෙයක්. ඒ හානිය අවම වෙන තරමට තමයි පරිවර්තනයක සාර්ථක භාවය වැඩි. පරිවර්තනය සාර්ථක නම් මුල් කෘතියෙන් ඇති කරන හැඟීම පරිවර්තන කෘතියෙනුත් ඇතිවෙන්න ඕනි.
මාටින් කේඩින්ගෙ Ghosts of the Air කෘතියෙ සිංහල පරිවර්තනයෙ (‘අහස් භූතයෝ’) පෙරවදනෙ රදිකා ගුණරත්න මෙහෙම සටහනක් කරල තියෙනව.
“පරිවර්තනයකදී හුදෙක් කතාව පමණක් කීම පරිවර්තනයක් නොවන බව මාගේ හැඟීමයි. අප මුල් කෘතිය ලියූ ලේඛකයාගේ ලේඛන රටාවේ ශෛලියේ නිලය අල්ලා ගත යුතුය. මුල් බසේ ආකෘතියට, ගලා යෑමට හා ශෛලියට බොහෝ දුරටවත් සමාන භාෂා රටාවක් සොයා ගැනීමට තරම් අපේ මව්බස පොහොසත් එකකි.”
සමහර වෙලාවට එක භාෂාවක තියෙන යෙදුම් වෙනත් භාෂාවකට කොහොමවත් ගේන්න බැහැ. එක භාෂාවකදි වචනෙකින් දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන් සංකල්පයක් වෙනත් භාෂාවකින් තේරුම් කරන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. පරිවර්තන කාර්යයයේදී පරිවර්තකයාගේ හැකියාවන් උරගා බලන්නෙ කතාවක තියෙන මෙන්න මේ වගේ තැන්. පරිවර්තන කාර්යයට අතගහන පුද්ගලය මේ වගේ තැන් නිර්මාණශීලී විදිහට ‘ගොඩදාගන්න’ දන්නෙ නැතිනම් කතාවේ ගලායෑමට සහ කතා සාරයට හානි වීම වලක්වන්න බැහැ.
මාක් ට්වේන්ගෙ “The Adventures of Tom Sawyer” කෘතියෙ සිංහල පරිවර්තනය මං දැකපු හොඳම පරිවර්තන වලින් එකක්. ඒ පරිවර්තනයේ සමහර තැන් වලදි මුල් පොතේ ඉංග්‍රීසි වචන ඒ විදිහටම පාවිච්චි කරල තියෙනව. එහෙම කිරීම නිසා ඒ තැන් වලට සිංහල වචන පාවිච්චි කරාට වඩා හොඳට කතා සාරය රැකිල තියෙනව.
හොඳ පරිවර්තකයෙක් අනිවාර්යයෙන්ම හොඳ පොත් රසිකයෙක් වෙන්න ඕනි. තමන් පරිවර්තනේ කරන්න යන කතාව හදවතින්ම රසවිඳපු නැති කෙනෙක්ට ඒ කෘතියට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඒ වගේමයි පරිවර්තන කාර්යය පටන්ගන්න ඉස්සෙල්ල පොතේ එන නම් ගම් මුල් භාෂාවෙදි උච්ඡාරණය වෙන්නෙ කොහොමද කියන එක ගැන හොයල බලල තියෙන්න ඕනි. චරිත ගොඩනගල තියෙන සමාජ සහ සංස්කෘතික වටාපිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඇත්තටම කිව්වොත් පොතක් පරිවර්තනය කරන කෙනෙක් ඒ දේ කල යුතුමයි. මොකද කියනවනං පොත කියවන කෙනා පරිවර්තකය මුල් කෘතියට සාධාරණයක් කලා කියන විශ්වාසයෙන් පොත කියවන්න ගන්න නිසා. ඒ වගේම පොත මිළදී ගන්න සැලකිය යුතු තරමේ මුදලක් වැය කරන නිසා. ඉතින් පරිවර්තකයෙක්ට තමන්ගෙ කාර්යය වගකීමෙන් කරන්න බැරි නං නිකං ඉන්න ඕනි.
‘හැරී පොටර්’ කතා මාලාව මගේ ප්‍රියතම කතා වලින් එකක්. පිස්සුවෙන් වගේ කියෝපු පොත් ටිකක්. වාසනාවකට වගේ ඒ පොත්වල සිංහල පරිවර්තනය කියවන්න කලින් මම කියෙව්වෙ ඉංග්‍රීසියෙන් ලියවිච්ච මුල් කෘති ටික. අර මං ‘වාසනාවකට වගේ’ කියන කෑල්ල කිව්වෙ ඇයි දන්නවද? හැරී පොටර් කතා මාලාවෙ මුල්ම පොත වෙච්ච “Harry Potter and the Philosopher’s Stone” පොතේ සිංහල පරිවර්තනය මට එහෙම්පිටින්ම බලාපොරොත්තු කඩවීමක් වෙච්ච නිසා.
මුල්ම බලාපොරොත්තු කඩවීම තමයි පොතේ නම. “හැරී පොටර් සහ මායා ගල”. නිකංම නිකං ඩික්ෂනරි පරිවර්තනයක්. ඇත්තටම මම බලාපොරොත්තු උනේ “හැරී පොටර් සහ දාර්ශණිකයන්ගේ පාෂාණය” හරි “හැරී පොටර් සහ පාරස මාණික්‍යය” වගේ ටිකක් ගතියක් තියෙන නමක් සිංහල පරිවර්තනේ තියෙයි කියල...
කොහොම උනත් පිටතින් පේන හැටියට පොතක ගුණ අගුණ කියන්න බැරි නිසා පොත තැනින් තැන පෙරළල බැලුව.
මුල් කෘතිය කියවල තියෙනවනං ඒකෙ පරිවර්තනේ හොඳද නරකද කියන්න සාර්ථක ක්‍රමයක් තියෙනව. ඒකට මුල් පොතේ තිබ්බ හිතට දැනිච්ච තැන් කීපයක් පරිවර්තන කෘතියෙන් හොයාගෙන කියවල බලන්න ඕනි.
දෙවෙනි බලාපොරොත්තු කඩවීම උනේ අන්න එහෙම කරාම. පළවෙනි පරිච්ඡේදෙ මාතෘකාව යොදල තිබ්බෙ “පිරිමි ළමයා” කියල. හයියෝ! ඕක ඉංග්‍රීසි පොතේ තිබ්බෙ “The Boy Who Lived” කියල. නිකං ආසාවට “දිවි ගලවාගත් දරුවා” කියලවත් පරිවර්තනේ කරන්න තිබ්බනෙ...
ඒ මදිවට “Hermione” පරිවර්තනේ කරල තිබ්බෙ “හර්මියෝන්” කියල. හරි විදිහට ඕක පරිවර්තනේ වෙන්න ඕනි “හර්මයිනී” කියල.
කොහොම උනත් මුල් කෘතිය කියවල නැත්නං හරි එහෙම නැත්නං පරිවර්තකයො කීප දෙනෙක් විසින් කරපු එකම පොතේ පරිවර්තන කීපයක් කියවල නැත්නං හරි පරිවර්තනය සාර්ථකද නැද්ද කියල එකපාරටම කියන්න අමාරුයි. ඒ වෙලාවට පොත් කියවන අපේ පිහිටට එන්නෙ කාලයක් තිස්සෙ පරිවර්තන පොත් කියවලම ලැබිච්ච පලපුරුද්ද තමයි.
මේ තියෙන්නෙ මට හොඳ පරිවර්තන විදිහට දැනිච්ච පොත් කීපයක්...
- Anne of Green Gables (Lucy Maud Montgomery) - අරඹෙ ගෙදර ඈන් (ප්‍රේමසිරි මාහිංගොඩ)
- The Adventures of Tom Sawyer (Mark Twain) - ටොම් සෝයර් (චන්ද්‍ර අනගිරත්න)
- 2001, 2010, 2061, 3001 (Arthur C. Clarke) - (එස්. එම්. බන්දුසීල)
- අඳ වාදකයා (වී. කරලෙන්කෝ) - (දැදිගම වී. රුද්‍රිගු)
- අරණකට පෙම් බැඳ (විභූතිභූෂණ බන්ධෝපාද්‍යාය) - (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි)
- Totto-Chan: The Little Girl at the Window (ටෙට්සුකෝ කුරෝයනගී) - හරි පුදුම ඉස්කෝලෙ (ලීලානන්ද ගමාච්චි)
- The Hound of the Baskervilles (Sir Arthur Conan Doyle) - බැස්කර්විල් දඩ බල්ලා (කේ. ජී. කරුණාතිලක)
***
මෙන්න තවත් පොත් ටිකක්...
- I Can Jump Puddles (Alan Marshall) - ඔව් මට පුළුවන්
- The Wave (Morton Rhue) - රැල්ල
- To Sir, with Love (E. R. Braithwaite) - ආදරණීය ගුරුතුමනි
- The Alchemist (Paulo Coelho) - සන්තියාගෝ නම් සැරිසරන්නා
- A Connecticut Yankee in King Arthur's Court (Mark Twain) - ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1, 2
මේව විද්‍යා ප්‍රබන්ධ...
- The Songs of Distant Earth (Arthur C. Clarke) - මිහිකතේ ගීතය
- Rendezvous with Rama (Arthur C. Clarke) - රාමා හමුව
- The Mind Parasites (Colin Wilson) - චිත්ත පරපෝෂිතයෝ
තව හොඳ පරිවර්තන පොත් ගැන හෝඩුවාවල් තියෙනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න... :)
***
ස්තූතිය:henryblogwalker the Dude ගෙ “දැන් ලඟද තාත්තෙ?” ලිපියට
ජීවිතේ මල් ගෙ “මගේ හිත් ගත් පොතක් 6 - තුන් තකතීරුකං කරපු කෙනෙක් මං” ලිපියට සහ
සුදීක ගෙ “සාහිත්‍ය මාසයේ - කියවන්නට (හිතන්නට) යමක්” ලිපියට
Thursday, 6 September 2012
ජනකතා සහ ජනකතාවක්
අපේ ජනකතා සාහිත්‍යය කියන්නෙ පරම්පරාවකින් පරම්පරාවකට දැනුම සහ ආකල්ප සම්ප්‍රේෂණය වෙච්ච ප්‍රභල මාධ්‍යයක්. ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නෙ විවිදාකාරයේ සිරිත්-විරිත්, විශ්වාස, ඇදහිලි වගේ දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙච්ච හැටි ගැන කියවෙන කතා. කොටින්ම කිව්වොත් ජනකතා කියන්නෙ අපේ ගැමි සමාජයේ සාරය.
ඒත් ජනකතා හරහා අපි දකින්නෙ එදා තිබ්බ ගැමි සමාජය මිසක් අද තියෙන ගැමි සමාජය නෙවෙයි. අද ගමත් නගරය තරම්ම සංකීර්ණයි. මොකද ගමේ මිනිස්සුන්ගෙයි නගරෙ මිනිස්සුන්ගෙයි සිතුම් පැතුම් වල ලොකු වෙනසක් නැති නිසා; ඒ අය කට බලියගෙන බලන්නෙ එකම රූපවාහිනී නාලිකා ටික නිසා සහ නගරෙ ඉන්නෙත් (අර ඒරොප්පෙන් ඇවිත් ගොඩබැස්ස වගේ පෙන්නන්න හදන අයත් ඇතුළුව) ගමෙන් නගරෙට සංක්‍රමණය වෙච්ච අය නිසා.
ඉතින් විසි එක්වෙනි සියවසේ ජීවත් වෙන ‘පොෂ්’ පොරවල් වෙච්ච අපිට ‘ගොඩේ’ ජනකතාවකින් ගන්න පුළුවන් මොනවද?
අපේ ජනකතා සරළයි. ඒත් ඒව නිකංම රසවින්දනයට විතරක් සීමා වෙච්ච කතා නෙවෙයි. ජනකතා ඉතිහාසය, සංස්කෘතිය වගේ මාතෘකා ගැන කතා වෙනව. ව්‍යංගාර්ථය සියුම් විදිහට පාවිච්චි කරල විවේචනය කලයුතු තැන් එක්තරා ආකාරයක උපහාස රසයකින් යුතුව විවේචනය කරනව.
‘මිනිස්සු’ කියන විෂය ඉගෙන ගන්නවනං ජන කතා කියන්නෙ සාරවත් මූලාශ්‍රයක්. සමාජයේ ඉන්න විවිදාකාරයේ චරිත හඳුන්වල දීල ඒ චරිත විවිධ දෘෂ්ඨි කෝණ වලින් විග්‍රහ කරල පෙන්නන්න ජනකතා කාරයට තියෙන්නෙ පුදුම හිතෙන තරමේ දක්ෂතාවයක්. සමහර විට ඒ ජන කතා කාරය කියන්නෙ පුද්ගලයන් ගොඩක එකතුවක් නිසා වෙන්න ඇති.
අපේ ජනකතා ගැන මගේ ආකල්පය ඔය විදිහයි. මම අහපු, කියවපු ජන කතා අතරින් මම කැමතිම ජනකතාවකුත් මෙතනට එකතු කරන්නම්. මේ කතාව හරහා දෙන පණිවිඩේ තේරෙනවද බලන්ඩකො...
උපුටා ගත්තෙ ‘සිව්දෙස’ සඟරාවෙ 2001 ජනවාරි කලාපයෙන්.
***
එක ගමක දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච ගමරාළ කෙනෙක් හිටිය. කොච්චර මහන්සියෙන් ගොවිතැන් බත් කලාද කිව්වොත් ගමරාළට අයිති වෙලා තිබුණ එක කුඹුරක්වත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. කුඹුරු විතරක් නෙවෙයි හේන්, වතුපිටිවත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. ඒ ලෝබ කම හින්ද නෙවෙයි, ඒ තරම් මහන්සියෙන් එයාටම මේ ඔක්කොගෙම වැඩ කරන්න පුළුවන්කම තිබුන හින්ද.
එක කන්නෙක මේ ගමරාළ එයාගෙ හේනක් කොටන්න ගියා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරාළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.
“උඹ මම ඉන්න ගහේ අතු පාහින්නෙ අහවල් දේකටද?” කියල යකා ගමරාළගෙන් ඇහුව.
“උඹ මේ ගහේ ඉන්නව කියල මම මේ හේන ගොවිතැන් නොකර ඉන්නද?” කියල ගමරාළ ඇහුව.
මෙහෙම දිගින් දිගටම කතාව ගිය හින්ද යකාට හොඳටම තරහ ගියා. ඊට පස්සෙ යකා මෙන්න මෙහෙම කියන්න පටන් ගත්ත.
“වැඩිදුර කතා ඕනෙ නෑ. මේ හේනට මම පදිංචි වෙන්න ඇවිල්ල දැන් පරම්පරා ගාණක් වෙනව. ඒ පරම්පරා ගාණටම මම උඹෙන් මොකවත් පංගුවක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ කන්නෙ ඉඳන් උඹ හිටවන දේවල් වලින් හරියටම පංගුවක් මට ඕනෙ. මේ සැරේ මුල මට. උඩ උඹට”.
ගමරාළ මේ කතාව බොහෝම හොඳට අහගත්ත.
“හාඃ හොඳයිකො...” කියල ඒ කන්නෙ ගමරාළ කුරහන් ඉස්සා.
යකාට මේ ගමරාළ කරන වැඩේ ගැන වැඩි තේරුමක් උනේ නැහැ. ඔන්න දැන් පළවෙනි කන්නෙ අස්වැන්න කැපුවයි කියමුකො. යකා කිව්ව විදිහට මුල් ටික යකාට ඉතුරු කරල කුරහන් කරල් ටික ගමරාළ කපා ගත්තා. ඉතින් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ. ඒත් යකාට කිසි වැඩක් උනෙත් නෑ.
දෙවෙනි කන්නෙදි යකා මෙහෙම කිව්ව.
“මේ කන්නෙදි යට උඹට, උඩ මට.”
ඒ කන්නෙදි මුළු හේන පුරාම ගමරාළ බතල හිටෙව්ව. අස්වැන්න නෙලා ගන්නකොට ගමරාළ යකා කියපු විදිහට බතල ටික අරගෙන බතල වැල්ටික ඉතුරු කරා.
කන්න දෙකේම පැරදිච්ච යකා ඊලඟ කන්නෙදි මෙහෙම කිව්ව.
“මේ කන්නෙදි මුලත් මට අගත් මට මැද හරිය උඹට.”
ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.
තුන්වෙනි පාරටත් පැරදිච්ච යකා පරාජය බාර අරගෙන හේනෙන් යන්නම ගියා.
_____
පින්තූරය
Sunday, 26 August 2012
වටිනාකම් යනු...?
හැමදේටම වටිනාකමක් තියෙනව. ඒත් මොකක් හරි දේක ඇත්තම වටිනාකම තියන්නේ ඒ භාණ්ඩයේ නෙවෙයි. වටිනාකම කියන්නෙ අපේ හිත් වල තියෙන සංකල්පයක් විතරයි. අපි මොනාට හරි වටිනාකමක් දෙන්නෙ අපි හිතන පතන විදිහට අනුව.
උදාහරණයක් විදිහට දියමන්තියි අඟුරුයි ගමුකො. එක දියමන්ති කැටේක වටිනාකමට අඟුරු කැට ටොන් ගානක් ගන්න පුළුවන්. මිනිස්සු අඟුරු වලින් හදපු ආභරණ පළඳින්නෙ නෑ. අඟුරු වලට මිනීමරා ගන්නෙ නෑ. මංකොල්ල කන්නෙ නෑ. ඒත් හැම ප්‍රසිද්ධ දියමන්තියක් එක්කම තණ්හාවෙන් පැල්ලම් ගැහිච්ච ලේ තැවරිච්ච අතීත කතාවක් තියෙනව. මෙතන තියෙන විහිළුව මේකයි. භෞතික ව්‍යුහයෙ වෙනස ඇරුනම දියමන්තියි අඟුරුයි කියන්නෙ එකම දේ. වෙනත් විදිහකින් කිව්වොත් දෙජාතියම හැදිල තියෙන්නෙ ‘කාබන්’ වලින්. දියමන්ති වටිනාකමින් වැඩිවෙන්න හේතුව ඒව දුර්ලභ වීම, ඒව හොයන්න අම්බානකට මහන්සි වෙන්න සිදුවීම සහ ඒ සඳහා ලොකු කැපවීමක් කරන්න සිදුවීම.
එතකොට සල්ලි...?
නිකංම බැලුවොත් සල්ලි කියන්නෙ කඩදාසි එහෙමත් නැත්නම් ලෝහ. සල්ලි වලට වටිනාකමක් දීල තියෙන්නෙ ඒව එදිනෙදා ජීවිතේදි හදන්න බැරි (හදන්න තහනම්), හම්බකරන්න ඕනි දෙයක් බවට පත් කිරීමෙන්. සල්ලි වලට තියෙන්නෙ මිළදී ගැනීමෙ හැකියාව විතරමයි. ගොඩ දෙනෙක් අද කාලෙ අමතක කරල තියෙන්නෙත් ඒකමයි. සල්ලි වලට ගන්න බැරි දේවලුත් ලෝකෙ තියෙනව...
මං විශ්වාස කරන විදිහට තමන් සන්තකයේ තියෙන සල්ලි වල වටිනාකම වැඩි ඒව තමන්ම මහන්සියෙන් හම්බකරාම. පොඩි කාලෙ අපිට ‘ඉපයීම’ කියන දේ ගැන තේරුමක් නැහැ. අපි කරේ සල්ලි ඉල්ල ගැනීම. මම ඔහොම අම්මගෙන් හරි අප්පච්චිගෙන් හරි සල්ලි ඉල්ලුවම සල්ලි දෙන්න කලින් ඒගොල්ලො - විශේෂයෙන්ම අප්පච්චි - නිතර මෙහෙම කතාවක් කියනව.
“ඔව් ඉතිං, එනකොට ගුලිකරගෙන ඇවිල්ල තියෙනවනෙ...”
ඒ දවස් වල ඔය කතාවට මට හරියට කේන්ති යනව. ඔය මත්තෙ මම අම්මයි අප්පච්චියි එක්ක රණ්ඩු වෙලත් තියෙනව. ඒත් පස්සෙන් පහු කාලෙක මම රස්සාවක් කරන්න අරගෙන පළවෙනි පඩිය අතට ගත්තම තමයි තේරුණේ ඒගොල්ලො එහෙම කිව්වෙ ඇයි කියල.
මගේ අතට ලැබිච්ච පඩි පැකට් එකේ තිබ්බෙ මාසයක් තිස්සෙ මං වෙච්ච මහන්සියේ වටිනාකම. ඒ උපයපු හැම රුපියලක්ම මම අවංකව හම්බකරා කියන්න මගේ හිත දැනගෙන හිටිය. මොණර කොළ කීපය අතට බරට දැනුණෙත් හිතට සැහැල්ලුවට දැනුණෙත් ඒ නිසා වෙන්න ඇති.
මට එතකං නොතේරුණාට අම්මයි අප්පච්චියි කියන්න උත්සාහ කරල තිබ්බෙ “උපයන්නාගේ මහන්සියට ගරු කරන්න” කියන එක.
කවුරු හරි දුන්න රුපියල් දහයකට වඩා; ලොතරැයියක් ඇදිල නිකං අතට ලැබෙන රුපියල් දහයකට වඩා අවංකව මහන්සියෙන් හම්බකරපු රුපියල් දහයෙ වටිනාකම වැඩියි. ඒක මං අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඒ රුපියල් දහය කෙනෙක් වියදම් කරන්නෙ නිකං හම්බවෙච්ච රුපියල් දහයක් වියදම් කරනවට වඩා පරිස්සමින්, වගකීමෙන් සහ එක්තරා ආකාරයක ආත්ම තෘප්තියකින්. වියදම් කිරීමේ සන්තෝසය හොඳටම දැනෙන්න තමන් හම්බකරපු දෙයක් වියදං කරල මොනා හරි ගන්න ඕනි.
අවාසනාවකට වගේ ගොඩ දෙනෙක් අනිත් අයගෙ මහන්සියට ගරු කරන්නෙ නෑ. මිනිස්සු අතින් ගොඩක් සම්පත් නාස්ති වෙන්නෙ ඒකයි. ගෙදරදි ලයිට් වතුර බොහොම අරපරිස්සමට පාවිච්චි කරන ගමන් කාර්යාලයේ අවේලාවෙ පත්තු වෙන ලයිට් එකක් නිවල දාන්නෙ නැති. ටැප් එකක් ඇරියම ඒක හරියට වහන්නෙ නැති මිනිස්සු ඕනි තරං ඉන්නව. සමහර අය හිතාගෙන ඉන්නෙ එහෙම කරල ආණ්ඩුව මට්ටු කරන්න. නැත්නම් ආයතන පරිපාලනේට රිද්දන්න. ඒත් අන්තිමට රිදෙන්නෙ අපිට. අපි හැමෝටම!
වෙනස තියෙන්නෙ ගොඩක් හම්බ කිරීමෙවත් පොඩ්ඩක් හම්බ කිරීමෙවත් නෙවෙයි. හම්බ කරන කීය හරි අවංකව හම්බ කිරීමෙ.
මුදල් නැතිකමින් ඇතිවන දුප්පත්කමේ උනත් සරළ වූ වටිනාකමක් සහ ගරුත්වයක් තියෙනව. ගුණධර්ම නැතිකමින් ඇතිවන දුප්පත්කමේ කිසිම වටිනාකමක්වත් ගරුත්වයක්වත් නැහැ.
_____
පින්තූරය
Thursday, 12 July 2012
අපිට ඕනි දේ
වෙලාවකට අපිට ඕනි මොනාද එපා මොනාද කියන්න අපිටවත් හරිහමන් අදහසක් නෑ. අපි විසින් උපයගෙන, ඉල්ලගෙන එහෙමත් නැත්නම් අත්පත්කරගෙන තියෙන ගොඩක් දේවල් දිහා ටිකක් විවෘත මානසිකත්වයකින් බැලුවම හිතට එන ප්‍රශ්ණයක් තමයි අපි ලබාගෙන තියෙන්නෙයි අපි ලබාගන්න මහන්සි අරගෙන තියෙන්නෙයි ඇත්තටම අපිට ඕනි දේවල්මද කියන එක.
ගොඩක් දේවල් අපිට ඕනි වෙන්නෙ ඒ දේවල් ඇත්තටම වැදගත් නිසාවට වඩා ඒ දේවල් අනිත් අය ගාව තියෙනව දකින නිසා. කොටින්ම කිව්වොත් ‘අනිත් අය වගේ වෙන්න’ පොඩි උවමනාවක් අපි හැමෝගෙම හිත් ඇතුලෙ තියෙන නිසා. ‘අනිත් අයට වඩා උඩින් ඉන්න’ ඕනිකමක් අපේ හිත් ඇතුලෙ නලියන නිසා.
ඕනි දේවල් ගැන කතා කරද්දි මතක් වෙච්ච පොඩි කතාවක් ලියල තියන්න හිතුණා...
ඔන්න එකෝමත් එක රටක හිටියලු යාළුවො දෙන්නෙක්. එක්කෙනෙක්ට අපි ‘කමල්’ කියමුකො. අනිත් එක්කෙනා ‘නිමල්’.
කමල් සල්ලි බාගෙ තියෙන ටිකක් සරුසාරෙට ජීවත් වෙච්චි මනුස්සයෙක්. එයා වැඩකට අතගැහැව්වොත් ඒ වැඩේ සාර්ථක වෙන ගතියක් තිබ්බ. අනිත් පැත්තෙන් බැලුවම නිමල් එදා වේල හම්බ කරගෙන - එයාම කියන විදිහට - දුකසේ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොම උනත් කවද හරි දවසක ‘කමල් වගේ වෙන්න’ නිමල්ගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තිබ්බ.
ඔහොම ඉන්න අතරෙ දවසක් නිමල්ට වයසක සාත්තර කාරයෙක්ගෙන් වරයක් හම්බ උනාලු.
වරයක් හම්බවෙනව කිව්වම ඉතිං අතාරින්නත් බෑනෙ. නිමල් කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මෙහෙම කිව්වලු.
“එහෙනං කමල්ට හම්බවෙන හැමදේම මටත් ලැබෙන වරයක් දෙන්න...”
මේ වරය ලැබිල සතියකට විතර පස්සෙ කමල්ට ලොතරැයියක් ඇදුනලු. ඊට පස්සෙ දවසෙම නිමල්ටත් ලොතරැයියක් ඇදුනලු.
ඊට මාසෙකට දෙකකට විතර පස්සෙ කමල්ට පාරෙ වැටිල තිබිල මැණිකක් හම්බඋනාලු. ඒ හම්බවෙලා ටික දවසක් යද්දි නිමල්ටත් ඒ විදිහටම මැණිකක් හම්බඋනාලු.
“මේකනේ ජීවිතේ...” කියල හිතාගෙන නිමල් කාලයක් බොහොම සැපට ජීවත් උනාලු. හැබැයි ඊට පස්සෙ උනේ නිමල් හීනෙකින්වත් නොහිතපු දෙයක්.
එක දවසක් කමල් ලොකු හොරකමකට වැරදිකාරයෙක් වෙලා හිරේ වැටුනලු. ඊට ටික දවසකට පස්සෙ නිමලුත් තමන් කරව්වෙවත් නැති හොරකමකට වැරදිකාරයෙක් උනාලු.
ප. ලි.
අජාන් බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ ධර්ම දේශණාවකදි මෙහෙම දෙයක් කියවුණා මතකයි.
“What you have won’t make you rich, what you want will make you poor.”
“තමන්ට ඇති දේ තමන්ව පොහොසතෙක් නොකරනවා වන්නට පුළුවන. නමුත් තමන්ට අවැසි දේ තමන්ව දුප්පතෙක් කරනු ඇත.”
_____
පින්තූරය
Tuesday, 3 July 2012
බැංකුව සහ හොරු
හරිනං මේක ලියන්න තිබ්බෙ සතියකට විතර උඩදි. ඒත් ගිය මාසෙම වැඩ කන්දරාවකට යට වෙලා හිටිය නිසා පෝස්ට් එකක් දාන්න තරං විවේකයක් හොයා ගන්න බැරි උනා.
මේක මට කියවන්න හම්බඋනේ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ ‘අනාගත අශ්චර්යයන්’ කියන පොතේ තිබිල.
කොහොම උනත් කතාව මේකයි.
අපි ලෝකෙ දකින්නෙ ‘දිග’, ‘පළල’, ‘උස’ කියන ත්‍රිමාණ රාමුවෙ ඉඳල. වෙනත් විදිහකින් කිව්වොත් අපිට ගෝචර ලෝකෙ ත්‍රිමාණයි. දැන් හිතල බලන්න ද්විමාන ලෝකයක් ගැන. ඒ කියන්නෙ ‘දිග’, ‘පළල’ කියන මාන දෙක විතරක් තියෙන සම්පූර්ණයෙන්ම පැතලි ලෝකයක්. ඒ ලෝකෙ තියෙන හැම දේම බිත්තියකට වැටිච්ච හෙවනැල්ලක් වගේ පැතලියි. ත්‍රිමාණෙ ඉන්න ජීවියෙක්ට සිව්වන මානෙ කියන්නෙ මොකක්ද කියල අදහසක් නෑ වගේ මේ ‘පැතලි’ ලෝකෙ ඉන්න ජීවයෙක්ටත් ‘ගැඹුර’ කියන සංකල්පෙ එහෙමත් නැත්නම් තුන්වෙනි මානෙ ගැන අදහසක් නෑ.
ඉතින් මේ පැතලි ලෝකෙ ‘පැතලි’ ගෘහ නිර්මාණ ශිල්පියො ටිකක් එකතු වෙලා ලොකු ව්‍යාපෘතියක් පටන් ගන්නව. ඒ තමයි තමන්ගෙ සල්ලි අරක්ෂා කරල තියාගන්න බැංකුවක් හදන එක. මේ අය තමන්ට තියෙන තාක්ෂණේ උපරිමේට පාවිච්චි කරල කාටවත් කඩාගෙන ඇතුල්වෙන්න බැරි විදිහට බැංකුව හදල සල්ලි තැම්පත් කරනව.
එහෙම බැංකුවක් දිහා ත්‍රිමාණය ගෝචර අපි වගේ කෙනෙක් බැළුවොත් කොහොම පෙනේවි කියල හිතන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ඒක මේ වගේ පෙනේවි.
දැං අපි හිතමුකො අපි කවුරුහරි ඔය මැද තියෙන සල්ලි ටික ගත්තයි කියල... එතකොට මොකද වෙන්නෙ?
පළවෙනි දේ තමයි ඒ අහිංසකයො ටික දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඒ අයට නැති වෙනඑක...
ඊලඟට වෙන දේ තමයි සල්ලි නැතිවෙච්ච විදිහ ගැන හොයන්න ගියාම ඒ කට්ටිය දිරෝගන්න බැරි ප්‍රශ්ණෙකට මැදිවෙන එක.
බැංකුවෙ දොරවල් කඩල නෑ. බිත්ති කඩලත් නෑ. ඒ උනාට සල්ලි අතුරුදහන් වෙලා. පොලිසියනං අනිවාර්යයෙන් අඥ්ඥකොරොස් වෙනවමයි.
බැරිම තැන විද්‍යාඥයෙක්ට ප්‍රශ්නෙ බාරදුන්නයි කියමු. එයා තර්කයක් ගොඩනගල අන්තිමේදි කිව්වොත් තුන්වෙනි මානය හරහා කෙනෙක් ඇවිල්ල හොරකම කරා කියල ද්විමාන වැසියො කීයෙන් කී දෙනෙක් ඒක විශ්වාස කරයිද?
කවුරු විශ්වාස කරත් නොකරත් අන්තිමේදි වෙලා තියෙන්නෙත් ඒ දේම නේද?
මේක මට කියවන්න හම්බඋනේ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ ‘අනාගත අශ්චර්යයන්’ කියන පොතේ තිබිල.
කොහොම උනත් කතාව මේකයි.
අපි ලෝකෙ දකින්නෙ ‘දිග’, ‘පළල’, ‘උස’ කියන ත්‍රිමාණ රාමුවෙ ඉඳල. වෙනත් විදිහකින් කිව්වොත් අපිට ගෝචර ලෝකෙ ත්‍රිමාණයි. දැන් හිතල බලන්න ද්විමාන ලෝකයක් ගැන. ඒ කියන්නෙ ‘දිග’, ‘පළල’ කියන මාන දෙක විතරක් තියෙන සම්පූර්ණයෙන්ම පැතලි ලෝකයක්. ඒ ලෝකෙ තියෙන හැම දේම බිත්තියකට වැටිච්ච හෙවනැල්ලක් වගේ පැතලියි. ත්‍රිමාණෙ ඉන්න ජීවියෙක්ට සිව්වන මානෙ කියන්නෙ මොකක්ද කියල අදහසක් නෑ වගේ මේ ‘පැතලි’ ලෝකෙ ඉන්න ජීවයෙක්ටත් ‘ගැඹුර’ කියන සංකල්පෙ එහෙමත් නැත්නම් තුන්වෙනි මානෙ ගැන අදහසක් නෑ.
ඉතින් මේ පැතලි ලෝකෙ ‘පැතලි’ ගෘහ නිර්මාණ ශිල්පියො ටිකක් එකතු වෙලා ලොකු ව්‍යාපෘතියක් පටන් ගන්නව. ඒ තමයි තමන්ගෙ සල්ලි අරක්ෂා කරල තියාගන්න බැංකුවක් හදන එක. මේ අය තමන්ට තියෙන තාක්ෂණේ උපරිමේට පාවිච්චි කරල කාටවත් කඩාගෙන ඇතුල්වෙන්න බැරි විදිහට බැංකුව හදල සල්ලි තැම්පත් කරනව.
එහෙම බැංකුවක් දිහා ත්‍රිමාණය ගෝචර අපි වගේ කෙනෙක් බැළුවොත් කොහොම පෙනේවි කියල හිතන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ඒක මේ වගේ පෙනේවි.
දැං අපි හිතමුකො අපි කවුරුහරි ඔය මැද තියෙන සල්ලි ටික ගත්තයි කියල... එතකොට මොකද වෙන්නෙ?
පළවෙනි දේ තමයි ඒ අහිංසකයො ටික දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඒ අයට නැති වෙනඑක...
ඊලඟට වෙන දේ තමයි සල්ලි නැතිවෙච්ච විදිහ ගැන හොයන්න ගියාම ඒ කට්ටිය දිරෝගන්න බැරි ප්‍රශ්ණෙකට මැදිවෙන එක.
බැංකුවෙ දොරවල් කඩල නෑ. බිත්ති කඩලත් නෑ. ඒ උනාට සල්ලි අතුරුදහන් වෙලා. පොලිසියනං අනිවාර්යයෙන් අඥ්ඥකොරොස් වෙනවමයි.
බැරිම තැන විද්‍යාඥයෙක්ට ප්‍රශ්නෙ බාරදුන්නයි කියමු. එයා තර්කයක් ගොඩනගල අන්තිමේදි කිව්වොත් තුන්වෙනි මානය හරහා කෙනෙක් ඇවිල්ල හොරකම කරා කියල ද්විමාන වැසියො කීයෙන් කී දෙනෙක් ඒක විශ්වාස කරයිද?
කවුරු විශ්වාස කරත් නොකරත් අන්තිමේදි වෙලා තියෙන්නෙත් ඒ දේම නේද?
Tuesday, 8 May 2012
වෙසක් කාලෙට පස්සෙ...
මේ මං ටික කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. වෙසක් කාලෙට මේක ලිව්වොත් වැඩිය හොඳයි කියල හිතිච්ච නිසා ටිකක් කල් දදා හිටියෙ. ඇත්තටම මහ ලොකු දෙයක් ගැනත් නෙමෙයි.
මම මෙහෙම ප්‍රශ්ණෙකින් පටන් ගන්නං...
ගෙදරින් බැඳගෙන යන හරි, කඩෙන් සල්ලි දීල ගන්න හරි බත් මුල දිගඅරිද්දි ඒක ඔතල තියෙන පත්තර කොලේ බුද්ධ රූපයක් තිබ්බොත් ඔයගොල්ලො මොනාද කරන්නෙ?
ඉස්සරම මං නං කරේ මුකුත් නොදැක්ක වගේ පත්තර කෑල්ල ගුලි කරල වීසි කරන එක. ඒත් ඒ විදිහ හිතට ලොකු බරක්. මොකද මගේ හිත දන්නව ඒක වැරදියි කියල. පස්සෙ මම වෙන ක්‍රමයක් පුරුදු උනා. ඒ තමයි පත්තර කෑල්ලෙ බුද්ධ රූපය තියෙන කොටස වෙන් කරල අරන් තියෙන එක. ඒ විදිහට එකතු වෙච්චි එක පත්තර කෑලි ගොඩක් ඔපීසියෙ මේස ලාච්චුවක තියෙනව. තවත් පත්තර කෑලි ගොඩක් ෂොපින් බෑග් එකකට දාල බෝඩිං කාමරේ බිත්තියක එල්ලල තියෙනව. ඒත් ඒවට එතනිං එහාට මොනා කරන්නද කියලනං අදහසක් නෑ.
වෙසක් සහ පොසොන් කාල වලට පත්තර වල බුද්ධ රූප වැඩියෙන් තියෙන එක සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ඒත් මෙතනදි පත්තර පළකරන අය අමතක කරන එක දෙයක් තියෙනව. මොන පත්තරෙත් පරණ උනාම මූණ දෙන්නෙ එකම විදිහෙ ඉරණමකට කියන එක. මිටි බැඳිල එක්කො කොහේ හරි මුල්ලකට වැටෙනව. එහෙමත් නැත්නං කිලෝ ගනං වලට විකිණෙනව. ඉතින් මේ කිලෝ ගානට විකිණෙන පත්තර ගැනෙන්නෙ එක එක දේවල් ඔතන්න. ගොඩක් වෙලාවට කෑම කඩ වලට. එහෙමත් නැත්නං ගෙවල් වල රස්සා වලට යන අයගෙ බත් මුල් ඔතන්න.
ඒ නිසා මේ කාලෙ පහු උනාට පස්සෙ කෑම පාර්සල් එතෙන පත්තර වලින් ගොඩක බුද්ධ රූප තියෙනව. ඒත් වැඩි දෙනෙක් ඒ ගැන තැකීමක් කරන්නෙම නැති ගානයි. වෙන රටවල් වල සමහර අය බුදු හාමුදුරුවන්ට අගෟරව වෙන විදිහට බුද්ධ රූප එක එක තැන් වල ප්‍රදර්ශණය කරනව කියල ඇහුවම කම්පා වෙන අපිට අපේම නොසැලකිල්ල නිසා බුද්ධ රූප වල ඉඳුල් පිහදැවෙන එක පේන්නෙ නැත්තෙ ඇයි කියන එක මටනං ප්‍රශ්ණයක්.
ප. ලි.
දැන් ටික කාලෙක ඉඳල විකුණන්න තියෙන බත් පාර්සල් පත්තර කොල වල ඔතන එක නීතියෙන් තහනං. ඒ ගැන මං සතුටු වෙන එක කාරණාවක් තමයි මේක. මොකද අපි නොදැන හරි, නොදැක්ක වගේ හරි කරන වැරැද්දක් ඒ විදිහට හරි ටිකක් අඩු වෙන නිසා.
_____
පින්තූරය
Saturday, 28 April 2012
ධනාත්මක සහ !ධනාත්මක
සිනා මැකිලා ගොසින් ඇත දෙනෙත් බොඳවෙලා
නෙක පාට පිරුණු ලොව කළු සුදට පෙරලිලා
ජීවිතේ මහ බරකි... නැත සැපක් ගෑවිලා
හිත මත්තෙ තිබු සතුට කොහේදෝ සැඟවිලා
...
නෙත් අගින් ගලා ගිය කඳුළු වැල් වියළිලා
කළු සුදින් තිබුණු ලොව නෙක වර්ණ ගැන්විලා
සුන්දරයි ජීවිතේ... නැත දුකක් ගෑවිලා
අරුමයකි මුළු සිතම සතුටකින් නැහැවිලා
ප. ලි.
මෘදුකාංග ක්‍රමලේඛණ ශිල්පයේදී නම් !true = false වේ.
ප. ප. ලි.
මේක හෙන පිස්සු අදහසක්ද මංදා. ඒත් ඔන්න ඔහෙ ලියල දැම්ම.
_____
පින්තූරය
Tuesday, 27 March 2012
සහතිකේකින් දැනුම මනින්න පුළුවන්ද?
මේ මං අහපු කතාවක්...
ඔන්න එක දවසක් ඉංජිනේරු ශිෂ්‍යයො කට්ටියක්ව එක මහාචාර්යවරයෙක් ‘ක්ෂේත්‍ර චාරිකාවක්’ එක්කරගෙන ගියාලු. ගිහිං තියෙන්නෙ ගමකට. ගමේ ටිකක් ඇවිදල කරල මහන්සිය පොඩ්ඩක් නිවා ගන්නයි, මූණ කට ටිකක් හෝද ගන්නයි කියල කට්ටියම ගියාලු ගමේ තිබ්බ පීල්ලක් ලඟට.
ඒ පීල්ල හදල තිබ්බෙ අඩි දහයක් විතර දිග උණ බටේකිං. සාමාන්‍යන් උණ බට වලින් පීල්ලක් හදනවනං කරන්නෙ ඒ උණ බටේ දෙකට පලල ඇතුලෙ පුරුක් ටික අයින් කරල පාවිච්චියට ගන්න එකනෙ. ඒත් මෙතෙන්දි කරල තිබ්බෙ වෙනම වැඩක්. මොකක් හරි ක්‍රමේකට උණ බටේ පලන්නෙ නැතුව ඇතුලෙ පුරුක් ටික අයින් කරල තමයි උණ බටේ මේ වැඩේට අරං තිබ්බෙ.
මහාචාර්ය වරය තමන්ගෙ ශිෂ්‍යයන්ගෙන් ඇහුවලු...
“ඔය ළමයින්ගෙන් කාටද කියන්න පුළුවං මේ උණ බටේ පලන්නෙ නැතුව පුරුක් ටික අයින් කරන්නෙ කොහාමද කියල?”
“ඒක එච්චර අමාරු නෑ සර්... කරන්න තියෙන්නෙ හයිය කම්බි කූරක් උණ බටේ එක පැත්තකින් දාල උණන පුරුක් ටික සුද්ද කරන එකනෙ...”
එක ශිෂ්‍යයෙක් උත්තර දුන්නලු.
“එතකොට කොච්චර විතර දිග කම්බි කූරක් ඕකට පාවිච්චි කරන්න වෙනවද?”
“උණ බටේ අඩි දහයක් විතර දිග නිසා... මං හිතන්නෙ සර් අඩි පහකට වැඩිය පොඩ්ඩක් දිගින් වැඩි කම්බි කූරක් පාවච්චි කරාම ඇති වෙයි...”
“දැං එතකොට මට ඕනි උනා කියමු අඩි තිහක් දිග උණ බටයක් මේ විදිහටම හදාගන්න... එතකොට මට සිද්ද වෙනව අඩි පහළොවක් විතර දිග කම්බියක් පාවිච්චි කරන්න... එහෙම නේද?”
“ඔව්...”
“හොඳයි... අපි මේක හදපු කෙනෙක්ගෙන්ම අහල බලමුකො...”
එහෙම කියපු මහාචාර්යවරය ළමයි ටික ගමේ ගොවි මහත්තයෙක්ව මුණගැහෙන්න එක්කරගෙන ගියාලු.
මහාචාර්යවරය ගොවි මහත්තයට කාරණාව කියල උණ බටයක් දෙකට පලන්නෙ නැතුව ඒකෙ ඇතුලෙ තියෙන පුරුක් ටික අයින් කරන විදිහ පැහැදිලි කරල දෙන්න කියල කිව්වලු.
“මෙහෙමයි මහත්තයෝ... ඔය වැඩේට ඕනි වෙනව ටිකක් විතර බර තියෙන උණ බටේ අස්සට රිංගවන්න පුළුවං තරමේ අඩියක හමාරක විතර යකඩ කෑල්ලක්... යකඩ කෑල්ල උණ බටේ එක පැත්තකිං දාල, ඒ පැත්ත උඩට එන විදිහට උණ බටේ කෙලිං හිටෝල, අර යකඩ කෑල්ල උණ පුරුක් ටික කඩාගෙන බටේ අනික් පැත්තෙන් මතුවෙනකං බිම අනින්නයි තියෙන්නෙ...”
***
මේ මං අහපු තවත් කතාවක්...
උඩරට දුම්රිය මාර්ගෙ හදන කාලෙ මාර්ගෙ සම්පූර්ණ කරගන්න එක ගැන ගැටළුවකට මුහුණපාන්න සිද්ද උනාලු. එක තැනකින් එහාට කෝච්චි පාර එලාගෙන යන්න බැරි තරම්ම බෑවුම ගොඩක් වැඩියිලු. ඉතින් මොකද කරන්නෙ කියල බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො කට්ටිය අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉන්නකොට එතන පොඩි ෆෝමන් තනතුරක් දරපු අපේ මනුස්සයෙක්...
“සර්, මේන්න මේ විදිහට අපි කෝච්චි පාර එලමු...”
කියල තමන් ඔළුවෙ ගැටගහගෙන හිටපු සුම්බරේ පෙන්නල කිව්වලු.
උඩරට දුම්රිය මාර්ගෙ දෙමෝදර ස්ටේෂම ගාව තියෙන දෙමෝදර පුඩුව (Demodara Loop) හැදුනෙ ඒ විදිහටලු.
***
මේ අපේ කන්තෝරුවෙ ලොක්කෙක් කියනව ඇහිච්ච කතාවක්...
“තමුසෙල දන්න කෙහෙල්මලක් නෑ... දැනගන්නව... මම ‘ඉ - o - ජි - නේ - රු - වෙ - ක්’... ”
***
මේ මම හිතාගෙන ඉන්න විදිහ...
දැනුම කියන්නෙ පොත් පත් වල විතරක් තියෙන දෙයක් නෙවෙයි. හරි විදිහට දැනුම උකහාගන්න දන්න කෙනාට පොත්පත් සහ විභාග කියන්නෙ ඒකට තියෙන එක මාධ්‍යයක් විතරයි.
සහතිකයක් කියන්නෙ උඩඟු වෙන්න තරං දේකුත් නෙවෙයි.
තවත් කෙනෙකුගෙ බුද්ධියෙ පරිණත බවට ගරු කරන්න දන්නෙ නැති කෙනා හරියට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයි. නිකංම නිකං ගඩොල් බාග සයිස් පොත් කටපාඩම් කරල ඒ කටපාඩං කරපු දේ ප්‍රශ්ණ පත්‍රයකට වමාරපු කෙනෙක් විතරයි.
_____
පින්තූරය
_____
පින්තූරය
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/BambooKyoto.jpg/220px-BambooKyoto.jpg
Subscribe to:
Posts (Atom)



















