Pages

Showing posts with label කියවන්නෝ - දිරවන්නෝ. Show all posts
Showing posts with label කියවන්නෝ - දිරවන්නෝ. Show all posts

Tuesday, 5 August 2014

කතා ටිකක් (ඇපෙන් බේරීම සඳහා)


තේරීම් මේසය වෙත රැගෙන යමින් තිබූ ලියුම් මිටියක් සේවකයාගේ අතින් ගිලිහී සැනෙකින් පොළොව මත විසිරී ගියේය. ඒවා නැවත එකතු කර ගැනීමට තරම් කාලයක් සේවකයාට ලැබුණේ නැත, තැපැල් ස්ථානාධිපති එතැනට පැමිණියේය.

“ඇයි මේ ලියුම් බිම” ඔහු ගොරෝසු හඩින් විමසා සිටියේය.

කීමට කිසිවක් සිතාගත නොහී මදක් විපිළිසර වූ සේවකයාගේ හිතට හදිසියේම පිළිතුරක් නැංගේය.

“ගුරුත්වාකර්ෂණය නිසා, සර්”


***


“නැගිටින්න, නැගිටින්න” යි රහසින් කියමින් බිරිද රෑ මැදියමේ සැමියා අවදි කළාය.

“ඇයි මොකද?” සැමියා නිදිමත ඇස් පොඩි කරමින් විමසා සිටියේය.

“ෂ්... සද්ද කරන්න එපා, කුස්සියෙන් අඩි සද්දයක් ඇහුණා, හිමිහිට ගිහින් බලන්න”

අසල තිබූ කිතුල් පොල්ලද ගත් ඔහු යුතුකම් දත් සැමියෙකුගේ අභිමානයෙන් යුතුව කුස්සිය පරීක්ෂාවට යාමට සැරසුණි.

“අනේ එනකොට වතුර එකක් අරන් එන්න, තිබහ නිසා නින්ද යන්නෙ නෑ” බිරිද නැවතත් මුමුණා කීවාය.


***


ඉතා හොදින් වැඩුණු ජවසම්පන්න සිංහායෙකු හට වදුරෙකු මුණ ගැසිණි. වදුරා අල්ලාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි උගෙන් විමසා සිටියේය. 

“ඒ ඔබයි... සිංහ රාළහාමි” මරබියට පත් වදුරා යටහත් පහත්ව පිළිතුරු දුන්නේය. සිංහයා ඌට යන්නට හැරියේය.

දෙවනුව සිංහයාට මුණ ගැහුණේ මුව නාම්බෙකි. ඌවද බිම පෙරළාගත් සිංහයා “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” යි විමසා සිටියේය. බියෙන් සලිතව ගිය මුව නාම්බා “ඒ ඔබයි... සිංහ රාළහාමි” යි කීවේය. සිංහයා ඌටද යන්නට හැරියේය.

ඊලගට සිංහයාට මුණගැසුණේ ඇතෙකි. “කවුද මේ වනාන්තරයේ රජ්ජුරුවෝ.” සිංහයා ඇතාගෙන්ද ඇසුවේය. කිසිවක් නොකී ඇතා සිංහයාව හොඩින් ගෙන ඈතට විසිකර දැමීය. අඩි පණහක් පමණ ඈතින් බිම පතිත වූ සිංහයා දණි පණි ගා නැගිටගෙන ඈත සිටම කෑගැසීය.

“හරි හරි උත්තරේ දන්නෙ නෑ කිව්වනං ඉවරයිනෙ ආයිබෝං...”


***


තැපැල් කන්තෝරුවේ අවුරුදු තිහක් සේවය කල සිරිපාල විශ්‍රාම ගන්නා දිනය උදා විය. මේසා දීර්ඝ කාලයක් සේවය කල මේ සේවකයාගේ සමුගැනීම උදෙසා උත්සවයක් පැවති අතර එහිදී ප්‍රධනියා ඔහුගෙන් මෙසේ විමසීය

“හොදයි සිරිපාල, ඉතින් අපෙන් මොනා හරි විශේෂයක් කෙරෙන්න තියෙනවද? කියන්න... කියන්න...”

“අනේ සර් මගේ චෙක් එක මං ඇවිල්ල ගන්නම්. තැපෑලට නම් දාන්න එපා”


***


අධි තාත්විකවාදී චිත්‍ර ශිල්පියෙක් හා සූපශාස්ත්‍රවේදිනියක් අතිනත ගත්හ. ඒ මංගල්‍යෙයන් නොබෝ කලකට පසු සූපශාස්ත්‍රවේදිනිය හමු වූ මිතුරියක් විවාහ ජීවිතය ගැන විමසා සිටියාය.

“කොහොමද අනේ අළුත් ජීවිතේ. කොහොමද දැන් කලදවස ගෙවෙන්නෙ?”

“වරදක් නෑ අනේ අපි හොදින් ඉන්නවා. එයා චිත්‍ර අදිනව. මං උයනව පිහනව.”

“එච්චරද අනේ... චිත්‍ර නොඅදින උයන්නේ පිහන්නේ නැති වෙලාවට මොකද කරන්නේ මෙයා”

“ආ... ඒ වෙලාවටද? ඒ වෙලාවට අපි එයා ඇදල තියෙන්නෙ මොනවද, මං උයල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න සාකච්ඡා කරනව.”


***


ධාවන පථය ඔස්සේ ගුවන්ගතවීම පිණිස ධාවනය වූ මගී ගුවන් යානය අතරමගදී නවතා නැවත ආරම්භක ස්ථානයට ගෙන එනු ලැබිණි. එය ගුවන්ගත කරනු ලැබූයේ පැයක් පමණ එසේ පමා වීමෙන් පසුවය.

විමසිලිමත් මගියෙකු එසේ පමා වූයේ කුමක් නිසාදැයි ගුවන් සේවිකාවකගෙන් විමසා සිටියේය.

“ගුවන් නියමුවාට එන්ජිමේ අමුතු ශබ්දයක් ඇහිල තියෙනවා...” ගුවන් සේවිකාව කියා සිටියාය. 

“වෙන ගුවන් නියමුවෙක් හොයාගන්න වුණු නිසයි මෙච්චර පමා වුණේ.”


***


මිතුරන් තිදෙනෙක් විනෝදයට මාළු බාමින් සිටියහ. හදිසියේම එකෙකු හට හසු වූයේ දිය කිදුරියකි. තමාව නිදහස් කර හරින්නේනම් තිදෙනාටම එක් වරය බැගින් දෙන්නම් යැයි කිදුරිය කියා සිටියාය.

“හොදයි! එක් මිතුරෙක් කීය. එහෙනම් මගේ බුද්ධිය දෙගුණ කරන්න.”

“ලැබේවා” යි කිදුරිය කී පමණින් අති ගැඹුරු දාර්ශණික මතවාද පවා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහුට ලැබිණි.

මිතුරාගේ පරිවර්තනයෙන් විශ්මයට පත් දෙවැන්නා “මගේ බුද්ධිය තෙගුණ කරන්න” යි ඉල්ලා සිටියේය.

“ලැබේවා” කිදුරිය කීය. ඔහුට අයින්ස්ටයින් ආදී මහා ගණිතඥයින් ඉදිරිපත්කල සංකීර්ණ ගණිත ගැටළු විසදීම කජු කන්නා සේ පහසු විය.

මිතුරන් ලත් හැකියාවන්ගෙන් උද්යෝගීමත් වූ තෙවැන්නා “මගේ බුද්ධිය හතර ගුණයකින් වැඩි කරන්න” යි ඉල්ලා සිටියේය.

“ඒක භයානකයි” කිදුරිය කීවාය. “ඒක අති විශාල වැඩි වීමක්. එයින් මේ ලෝක ධාතුව පිළිබඳව ඔබේ අවබෝධය, දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවනි.”

“ඒ ගැන වද වෙන්න එපා. මගේ බුද්ධිය හතර ගුණයක් කරන්න.” තෙවැන්නා නැවත ඉල්ලා සිටියේය.

“ලැබේවා” යි කිදුරිය කීවාය.

එසැනින් ඔහු ගැහැණියක් බවට පත් විය.


___

උපුටා ගැනීම සිව්දෙස සඟරා වලිනි


_____
පින්තූරය

Thursday, 6 September 2012

ජනකතා සහ ජනකතාවක්




අපේ ජනකතා සාහිත්‍යය කියන්නෙ පරම්පරාවකින් පරම්පරාවකට දැනුම සහ ආකල්ප සම්ප්‍රේෂණය වෙච්ච ප්‍රභල මාධ්‍යයක්. ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නෙ විවිදාකාරයේ සිරිත්-විරිත්, විශ්වාස, ඇදහිලි වගේ දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙච්ච හැටි ගැන කියවෙන කතා. කොටින්ම කිව්වොත් ජනකතා කියන්නෙ අපේ ගැමි සමාජයේ සාරය.

ඒත් ජනකතා හරහා අපි දකින්නෙ එදා තිබ්බ ගැමි සමාජය මිසක් අද තියෙන ගැමි සමාජය නෙවෙයි. අද ගමත් නගරය තරම්ම සංකීර්ණයි. මොකද ගමේ මිනිස්සුන්ගෙයි නගරෙ මිනිස්සුන්ගෙයි සිතුම් පැතුම් වල ලොකු වෙනසක් නැති නිසා; ඒ අය කට බලියගෙන බලන්නෙ එකම රූපවාහිනී නාලිකා ටික නිසා සහ නගරෙ ඉන්නෙත් (අර ඒරොප්පෙන් ඇවිත් ගොඩබැස්ස වගේ පෙන්නන්න හදන අයත් ඇතුළුව) ගමෙන් නගරෙට සංක්‍රමණය වෙච්ච අය නිසා.

ඉතින් විසි එක්වෙනි සියවසේ ජීවත් වෙන ‘පොෂ්’ පොරවල් වෙච්ච අපිට ‘ගොඩේ’ ජනකතාවකින් ගන්න පුළුවන් මොනවද?

අපේ ජනකතා සරළයි. ඒත් ඒව නිකංම රසවින්දනයට විතරක් සීමා වෙච්ච කතා නෙවෙයි. ජනකතා ඉතිහාසය, සංස්කෘතිය වගේ මාතෘකා ගැන කතා වෙනව. ව්‍යංගාර්ථය සියුම් විදිහට පාවිච්චි කරල විවේචනය කලයුතු තැන් එක්තරා ආකාරයක උපහාස රසයකින් යුතුව විවේචනය කරනව.

‘මිනිස්සු’ කියන විෂය ඉගෙන ගන්නවනං ජන කතා කියන්නෙ සාරවත් මූලාශ්‍රයක්. සමාජයේ ඉන්න විවිදාකාරයේ චරිත හඳුන්වල දීල ඒ චරිත විවිධ දෘෂ්ඨි කෝණ වලින්  විග්‍රහ කරල පෙන්නන්න ජනකතා කාරයට තියෙන්නෙ පුදුම හිතෙන තරමේ දක්ෂතාවයක්. සමහර විට ඒ ජන කතා කාරය කියන්නෙ පුද්ගලයන් ගොඩක එකතුවක් නිසා වෙන්න ඇති.‍

අපේ ජනකතා ගැන මගේ ආකල්පය ඔය විදිහයි. මම අහපු, කියවපු ජන කතා අතරින් මම කැමතිම ජනකතාවකුත් මෙතනට එකතු කරන්නම්. මේ කතාව හරහා දෙන පණිවිඩේ තේරෙනවද බලන්ඩකො...

උපුටා ගත්තෙ ‘සිව්දෙස’ සඟරාවෙ 2001 ජනවාරි කලාපයෙන්.

***

එක ගමක දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච ගමරාළ කෙනෙක් හිටිය. කොච්චර මහන්සියෙන් ගොවිතැන් බත් කලාද කිව්වොත් ගමරාළට අයිති වෙලා තිබුණ එක කුඹුරක්වත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. කුඹුරු විතරක් නෙවෙයි හේන්, වතුපිටිවත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ. ඒ ලෝබ කම හින්ද නෙවෙයි, ඒ තරම් මහන්සියෙන් එයාටම මේ ඔක්කොගෙම වැඩ කරන්න පුළුවන්කම තිබුන හින්ද.

එක කන්නෙක මේ ගමරාළ එයාගෙ හේනක් කොටන්න ගියා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරා‍‍‍ළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

“උඹ මම ඉන්න ගහේ අතු පාහින්නෙ අහවල් දේකටද?” කියල යකා ගමරාළගෙන් ඇහුව.

“උඹ මේ ගහේ ඉන්නව කියල මම මේ හේන ගොවිතැන් නොකර ඉන්නද?” කියල ගමරාළ ඇහුව.

මෙහෙම දිගින් දිගටම කතාව ගිය හින්ද යකාට හොඳටම තරහ ගියා. ඊට පස්සෙ යකා මෙන්න මෙහෙම කියන්න පටන් ගත්ත.

“වැඩිදුර කතා ඕනෙ නෑ. මේ හේනට මම පදිංචි වෙන්න ඇවිල්ල දැන් පරම්පරා ගාණක් වෙනව. ඒ පරම්පරා ගාණටම මම උඹෙන් මොකවත් පංගුවක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ කන්නෙ ඉඳන් උඹ හිටවන දේවල් වලින් හරියටම පංගුවක් මට ඕනෙ. මේ සැරේ මුල මට. උ‍ඩ උඹ‍ට”.

ගමරාළ මේ කතාව බොහෝම හොඳට අහගත්ත.

“හාඃ හොඳයිකො...” කියල ඒ කන්නෙ ගමරාළ කුරහන් ඉස්සා.

යකාට මේ ගමරාළ කරන වැඩේ ගැන වැඩි තේරුමක් උනේ නැහැ. ඔන්න දැන් පළවෙනි කන්නෙ අස්වැන්න කැපුවයි කියමුකො. යකා කිව්ව විදිහට මුල් ටික යකාට ඉතුරු කරල කුරහන් කරල් ටික ගමරාළ කපා ගත්තා. ඉතින් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ. ඒත් යකාට කිසි වැඩක් උනෙත් නෑ.

දෙවෙනි කන්නෙදි යකා මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි යට උඹට, උඩ මට.”

ඒ කන්නෙදි මුළු හේන පුරාම ගමරාළ බතල හිටෙව්ව. අස්වැන්න නෙලා ගන්නකොට ගමරාළ යකා කියපු විදිහට බතල ටික අරගෙන බතල වැල්ටික ඉතුරු කරා.

කන්න දෙකේම පැරදිච්ච යකා ඊලඟ කන්නෙදි මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි මුලත් මට අගත් මට මැද හරිය උඹට.”

ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.

තුන්වෙනි පාරටත් පැරදිච්ච යකා පරාජය බාර අරගෙන හේනෙන් යන්නම ගියා.


_____
පින්තූරය

Monday, 16 April 2012

තාත්තාව මවපු හැටි


මුලින්ම...

හැමෝටම මේ ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභම සුභ වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
___

මේ පාර ගෙදර ගිය වෙලාවෙ ‘ගී මියැසියක්’ රසවිඳින්න අවස්තාව ලැබුණ. එතෙනදි අහපු මං ආස කරන සින්දුවක් වෙච්ච ටී. එම්. ජයරත්න මහත්තය ගායනය කරන “අම්මා සඳකි...” ගීතය මාව මතක මංපෙත දිගේ අතීත මතකයකට අරගෙන ගියා.

පහුවදාම ගෙදර තිබ්බ සඟරා ගොඩ අවුස්සන්න ගත්තෙ මම හොයන්න හිතාගත්ත දේ හම්බවෙයි කියල වැඩි විශ්වාසයක් ඇතුව නෙවෙයි. ඒත් ඒක කොහේ හරි මුල්ලකට වෙලා තියෙන්නම ඕනි කියල හිත කිව්ව. මට බාදාවකට තිබ්බෙ එකක් පස්සෙ එකක් එන කිබුහුම් පෝලිම තමයි. කොච්චර පොත් පත් කියවන්න ආස උනත් පරණ වෙච්ච පොත් වල තියෙන ‘පොත් දූවිල්ල’ මට ඇලජික්. මුකවාඩම් බැඳගෙන තමයි පරණ පොත් පත් අවුස්සන්න වෙන්නෙ. මම හෙව්වෙ සඟරාවක පළවෙලා තිබ්බ ලිපියක්. හොයලා... හොයලා... අන්තිමට ඒක හොයා ගන්න පුළුවන් උනා. මේ තියෙන්නෙ ඒ ලිපිය.

පියවරුන්ගේ සෙනෙහස මව්වරුන්ගේ සෙනෙහසට නොදෙවනි උනත් මව්වරුන් ගැන ලියවෙන තරම්ම පියවරු ගැන ලියවෙන්නෙනම් නැහැ. මේ මට ඇහැ ගැහුණ නිතරම නොකියවෙන ඒ පිය සෙනෙහස ගැන කියවිච්ච හරිම අපූරු නිර්මාණයක්.

***

උපුටා ගැනීම “සෝදිසි” සඟරාව 2001 අප්‍රේල් මංගල කලාපයෙන්.




දෙවියන් වහන්සේ තාත්තාව නිර්මාණය කිරීම ආරම්භ කළේ උස් වූ සැකිල්ලකිනි.

අසල සි‍ටි දේව දූතියක් දෙවියන් වහන්සේගෙන් මෙසේ විමසුවාය.

“මේ මොන වගේ තාත්තා කෙනෙක්ද? ඔබ වහන්සේ දරුවන්ව හුඟාක් පුංචියට නිර්මාණය කරලා තාත්තව මේ තරම් උස තැනැත්තෙක් කරන්නේ ඇයි? පියාට දණ නොගහ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි වේවි. නොනැමී දරුවන්ව වඩා ගන්න බැරි වේවි. තමන්ගේ දරුවන්ට හාද්දක් දෙන්න උනත් තාත්තාට කොච්චර අමාරු වේවිද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

“ඔව් ඔය කියන සේරම ඇත්ත. ඒත් මම තාත්තාව කොටට නිර්මාණය කළොත් දරුවො අමාරුවෙන් ඔළුව ඉහලට ඔසවලා බලන්නෙ කා දිහාවද?”

දෙවියන් වහන්සේ තාත්තාගේ දෑත් විශාලව සහ හැඩි දැඩිව නිර්මාණය කලහ.

දේව දූතිය ඒවා ගැන සෑහීමකට පත් නොවූ සේය. ඇය මෙසේ විමසුවාය.

“ඔය විශාල අත් වලින් දරුවෙකුගේ ඇඳුමකට කටුවක් ගහන්නෙ කොහොමද? අඩුම තරමේ පෝනි ටේල් එකකට රබර් පටියක් දාන්නෙ කොහොමද?”

සිනාසුණු දෙවියන් වහන්සේ මෙසේ පැවසූහ.

“මම දන්නවා නමුත් මේ අත් දරුවට ආරක්ෂාව දෙන්න තරම් ශක්තිමත්. දරුවගෙ පිඟාන ආහාර වලින් පුරවන්න තරම් සවිමත්.”

ඊලඟට දෙවියන් වහන්සේ දිගු සිහින් දෙපා සහ පුළුල් උරහිස් නිර්මාණය කළහ.

“කෝ එතකොට තාත්තාට දරුවො නළවන්න උකුළක්?”

දේව දූතිය විමසුවාය.

“අම්මට පුළුල් උකුළක් තියනවා හැබැයි පුළුල් උරහිසක් නැහැ. තාත්තට පුළුල් උකුළක් නැතත් පුළුල් සවිමත් උරහිසක් තියනවා. පුංචි පුතාට බයිසිකල් පදින්න පුරුදු කරවන්න තාත්තට මේ උරහිස් ප්‍රයෝජනවත් වේවි. දරුවාව උරහිස් උඩ වාඩි කරවගෙන යන්න වගේම චිත්‍රපටියක් බලල ආපසු එද්දි දරුවාව නිදි කරවගෙන එන්නත් ඒ උරහිස් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ තාත්තාගේ විශාල දෙපතුල් නිර්මාණය කරමින් සිටියහ. දේව දූතියට මෙය ඉවසිය හැක්කක් නොවීය.

“ඒක හරි නැහැ. ඔච්චර විශාල පතුල් වලින් ඇවිදින කොට අඩි සද්දෙන් උදේ පාන්දර දරුවෝ අවදි වෙලා අඬන එකක් නෑ කියලා හිතනවද? පුංචි දරුවෙකුගෙ උපන්දින උත්සවයකදි දරුවන්ගෙ කකුල් නොපාග එහෙ මෙහෙ ඇවිදින්න තාත්තට පුළුවන් වේවි කියල හිතනවද?.”

“අසුබවාදීව හිතන්න එපා. දරුවෙක් අසනීප උනාම ඉක්මනට එයාව දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න, දරුවට ඇවිදින්න දුවන්න පුරුදු කරවන්න තාත්තට මේ විශාල දෙපතුල් හුඟක් ප්‍රයෝජනවත් වේවි.”

දෙවියන් වහන්සේ මුළු රාත්‍රිය පුරාම සිය නිර්මාණය කරගෙන ගියහ. එතුමා තාත්තාගේ මුවට ගැඹුරු හඬකුත් සීමිත වචන කිහිපයකුත් එක් කළහ. නිහඬ බව මෙන්ම සියල්ල විනිවිද දකිනා දෑසකුත් තාත්තාට ලබා දුන්හ. දෙවියන් වහන්සේ ඉතාමත්ම කලාතුරකින් වැටෙනා කඳුලක් තාත්තාගේ දෑසට එක් කළහ. ඉන්පසු එතුමා දේවදූතිය දෙස හැරුණාහ.

“අම්මට වගේම තාත්තටත් තමන්ගෙ දරුවන්ට හුඟාක් ආදරේ කරන්න බැරි වේවි කියල දැන් ඔබ හිතනවද‍?”

දේව දූතිය කිසිත් නොකියා නිහඬවම උන්නාය.

_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...