මං හිතන්නෙ ඉස්කෝලෙදි විද්‍යාව විෂයක් විදිහට මට හම්බ උනේ හය වසරෙදි විතර. ඒත් විද්‍යාව ගැන මට ලොකු ආසාවක් ඇතිවෙලා තිබ්බෙ මං හතර වසරෙ ඉන්න කාලෙ ඉඳන්මයි. ඒක උනේ ටීවි එක නිසා.
දැන් වගේ නෙවෙයි සමස්තයක් විදිහට ගත්තම, ඒ කාලෙ ඇත්තටම වැදගත් වැඩසටහන් ගොඩක් රූපවාහිනියෙ ප්‍රචාරය උනා. ඒව අතරින් ටයි මාමගෙ කාටූන් ඇරුනම මගේ ප්‍රියතම වැඩසටහනක් වෙලා තිබ්බෙ “දෙදාහෙන් එහා” කියන වාර්තා වැඩසටහන. ඊට අමතරව චන්දන ජයරත්න මහත්තය කරපු “විශ්වයේ අසිරිය” වැඩසටහනයි දැන් මට නම අමතක වෙලා ගිහින් තියන මොකක්හරි “... මිහිකත” කියල තව වැඩසටහනකුයි මගේ ෆේවරිට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ.
ඔන්න ඔතනින් තමයි මගේ විද්‍යා මෙව්ව එක පොඩි අංකුරේකින් පැළවෙන්න පටන් ගත්තෙ. පස්සෙන් පහු ඒක මුල් ඇදල මට විද්‍යා පිස්සුව හැදුණ. ඒ පිස්සුව උත්සන්න වෙන්න පොහොර දැම්මෙ මං කියවපු විද්‍යා ප්‍රබන්ධ කතා. වෙන්න ඕනි විදිහටම ඒවගෙන් මුල් එක මට හම්බ උනේ විදුසර පත්තරේක තිබිල. දැන් අපහු හැරිල බලද්දි විදුසරෙන් ලැබිච්ච තල්ලුව සුළුපටු නැහැ කියල හිතෙනව. ඒ වගේමයි මුතුහර, සිව්දෙස, මනහර, සෝදිසි සඟරාත්. අපේ අප්පච්චි විසි අවුරුද්දක් තිස්සෙ එකතු කරපු සඟරා වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ඇත්තෙ මං වෙන්න ඇති.
“විද්‍යාවෙන් කරන්නෙ ලෝකෙ වැඩ කරන යාන්ත්‍රණය තේරුම් ගන්න උත්සහ කරන එක.”
මට භෞතික විද්‍යාව උගන්නපු එක ගුරුවරයෙක් කිව්වෙ එහෙමයි. මං විද්‍යාව විෂයට ආසත් ඒ හේතුව නිසාමයි. ලෝකෙ කියන මහා අවුල් ජාලාව ටිකක් හරි තේරුං ගන්න පුළුවං වීමම හිතට සැනසීමක් නෙවෙයිද? අන්ධකාර පාරක යද්දි එක ගිණිකූරක් හරි අතේ තියන එක කොච්චර දෙයක්ද?
ඉතින් විද්‍යාවෙ කතාව මේ වගේ...
ඒක හැම තිස්සෙම අළුත් දේවල් එකතු වෙවී වැඩි දියුණු වෙන දෙයක්. එහෙම විද්‍යාව වැඩිදියුණු වෙන්න වෙන්න මනුස්ස වර්ගයා ලෝකෙ මේ විදිහයි කියල හිතින් මවාගෙන ඉන්න චිත්‍රයත් ටිකින් ටික වෙනස් වෙනව. මිනිස්සු ස්වභාවයෙන්ම වෙනස්වීමට අකමැති නිසා විද්‍යාව දියුණු උනේ සහ දියුණු වෙන්නෙ හැලහැප්පිලිත් එක්ක. චාල්ස් ඩාවින් ස්වාභාවික වරණය ගැන කතා කරාම ඒ කාලෙ හිටිය බුද්ධිමත්තු ඔහුට හිනා උනා. ගැලීලියෝ සූර්ය කේන්ද්‍ර වාදය ගැන කතා කරාම පල්ලිය ඔහුට තර්ජනය කරා.
සමහරු ලෝකය කාගෙ හරි මැවීමක් කියල හිතාගෙන ඉද්දි තවත් සමහරු කියන්නෙ ලෝකෙ ඉබේ ඇතිඋනා කියල. ඔය අතරෙ ලෝකය හේතූන් නිසා හටගත්ත ඵලයන්ගෙ එකතුවක් කියල තව කොටසක් කියනව. මේව තමයි අපිට අපේ වටාපිටාව ගැන තියන ආකල්ප. එකම ප්‍රශ්ණෙ දිහා කීප විදිහකින් බලන්න අපි පුරුදු වෙලා ඉන්නව. මං නං කියන්නෙ ඒක හොඳ දෙයක්. ඒ මොකක් හරි ගැන තමන් දකින විදිහට වඩා වෙනස් විදිහට දකින අය තව ඉන්නව කියල තේරුං ගැනීම අන්තවාදයෙන් මිදීමේ පළවෙනි පියවර කියල මං විශ්වාස කරන නිසා.
විද්‍යාව කියන්නෙත් එහෙම ප්‍රශ්ණයක් දිහා බලන එක විදිහක්. අපි ඒකට පාවිච්චි කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක්.
පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය.
ඔය ක්‍රමේට තමයි විද්‍යාව පරිණාමය වෙන්නෙ.
කොහොමත් විද්‍යාව සර්ව සම්පූර්ණ නැහැ. කවදාවත් එහෙම වෙන එකකුත් නැහැ. අපි දවසින් දවස ගොඩක් දේවල් ඉගෙන ගන්නව උනත් විද්‍යාවෙන් අපි තේරුම් අරං ඉන්න ලෝකයයි, ඇත්තම ලෝක සොබාවයයි අතරෙ තවමත් නොදන්න දේවල් ගොඩක් පිරිච්ච මහා ආගාධයක් තියනව. අන්න ඒ හිඩැස පුරවන්න තමයි අපි අපේ පරිකල්පන ශක්තිය පාවිච්චි කරන්නෙ.
ඉතින් විද්‍යාව පැත්තෙන් කවුරුහරි තමන්ගෙ හිතීමේ ශක්තිය අයාලෙ යන්න ඇරියම තමයි විද්‍යා ප්‍රබන්ධ බිහි වෙන්නෙ. ඒව හරියට විද්‍යාත්මක පදනමක් තියන සුරංගනා කතා වගේ.
විද්‍යා ප්‍රබන්ධ ලියවෙන ජනප්‍රිය මාතෘකා කීපයක් තියනව. අභ්‍යවකාශ ගවේෂණය, පිටසක්වල ජීවය, කාල තරණය, අමරණීයත්වය, කෘත්‍රිම බුද්ධිය... එක අතකට බලාගෙන ගියාම මේව මනුස්ස හිත් වල ආදි කාලෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්ණ. මේ හැම ප්‍රශ්ණෙම පැනනැගිල තියන්නෙ එකම මූලයකින්.
“අපි ආවෙ කොහෙන්ද? අපි යන්නෙ කොහාටද?”
ආගම් වගේම විද්‍යාවත් මිනිස්සු ඇති කර ගත්තෙ වෙන මොනාටවත් වැඩිය මෙන්න මේ ප්‍රශ්ණ දෙකට උත්තර හොයා ගන්න. විද්‍යා ප්‍රබන්ධ වලින් කෙරෙන්නෙ අපි මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවං එක එක විද්‍යාත්මක දෘෂ්ඨි කෝණ අපිට පෙන්නල දෙන එක. අපි එහෙම උත්තර හොයාගෙන යද්දි අපිට හම්බවෙන්න පුළුවං වෙනත් දේවල් ගැන, අපි සැලකිලිමත් විය යුතු දේවල් ගැන, විශ්වයේ අපේ තැන ගැන උපකල්පනය කරන එක සහ ඒ අදහස් කතන්දරයක් විදිහට ඉදිරිපත් කරන එක.
සිංහලෙන් ලියපු සහ සිංහලයට පරිවර්තනය කෙරුනු විද්‍යා ප්‍රබන්ධ වලින් වැඩි හරියක් මට මුණගැහුනෙ කලින් කිව්ව වගේ පත්තර වලිනුයි සඟරා වලිනුයි. ආතර් සී ක්ලාක් ව, අයිසෙක් ඇසිමොව් ව විදුසර හරහා මුණ ගැහිච්ච මම ජූල්ස් වර්න් වයි එච්. ජී. වෙල්ස් වයි මුණගැහුණෙ මුතුහර, සිව්දෙස සඟරා වලින්.
ඔය තමයි මගේ ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ රචකයො හතර දෙනා.
ඒ අතරිනුත් උඩින්ම ඉන්නෙ ආතර් සී. ක්ලාක්. මම කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධ ඔහුගේ නිර්මාණ. අභ්‍යවකාශ වීර චාරිකා පොත් හතර (2001, 2010, 2061, 3001), මිහිකතේ ගීතය (Songs of the Distant Earth), පාරාදීසයේ උල්පත් (Fountains of Paradise) , රාමා හමුව (Rendezvous with Rama), ඩොල්ෆින් දූපත (The Dolphin Island), ගැඹුරු මුහුද (Deep Range)...
මං හිටියෙ ඔය පොත් වලට වහ වැටිල. ආතර් සී ක්ලාක් ගෙ අනාගතය උපකල්පනය කිරීමේ හැකියාව අති විශිෂ්ඨයි. ඒ වගේමයි ඔහුගෙ රචනා ශෛලියත්. මං ඒකට කියන්නෙ තැපෑලෙන් වදින කතා කියන ක්‍රමයක් කියල. මොකද කතාවෙ හරය තේරෙන්නෙ කතාවෙ අග හරියට කිට්ටු කරාම. ඒ වගේමයි කතා වල තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ මත වාද. ඒ තරං අදහස් වලින් පෝසත් කතා ලියල තියෙන්නෙ ටික දෙනයි. ආතර් සී ක්ලාක් ගෙ පරිකල්පන ශක්තිය ක්ෂේත්‍ර ගණනාවක් හරහා කොච්චර දුරට විහිදෙනවද කියල දැනගන්න නං ඔහු ලියපු කෙටි කතා කියවල බලන්න ඕනි. ඒව අභ්‍යවකාශ සෝපාන, බ්‍රහස්පති දියමන්ති, රික්තයේ ශක්තිය, විකිරණයේ ජීවීන් වගේ එකිනෙකට වෙනස් පුදුමාකාර අදහස් වලින් පිරිල තියනව.
විද්‍යා ප්‍රබන්ධ කලාවෙ පුරෝගාමියො වෙච්ච ජූල්ස් වර්න්වයි එච්. ජී. වෙල්ස්වයි මෙතනදි කොහොමත්ම අමතක කරන්න බැහැ. ලීග විසිදහසක් ගැඹුරු මුහුදේ (Twenty Thousand Leagues Under the Sea), ලොව වටා අසූ දිනකින් (Around the World in Eighty Days) වගේම ලෝක සංග්‍රාමය (War of the Worlds) සහ අදිසි මිනිසා (The Invisible Man) කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයේ සම්භාවනීය කෘති. ඊට පස්සෙ පරම්පරා වල රචකයන්ව විද්‍යා ප්‍රබන්ධකරණයට උනන්දු කරේ ඒ කතා තමයි.
විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ නිකංම කතා විතරක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධකරණය විද්‍යාවෙන් පෝෂණය වෙනව වගේම විද්‍යා ප්‍රබන්ධ නිසා විද්‍යාවත් පෝෂණය වෙනව. කෘත්‍රිම බුද්ධිය ක්‍රමලේඛණය කරද්දි පාවිච්චි කරන මූලික නීති තුන (three laws of robotics) ඉදිරිපත් උනේ ඇසිමොව්ගෙ විද්‍යා ප්‍රබන්ධයක් හරහා. සබ්මැරීනය ගැන මුල්ම අදහස ඉදිරිපත් උනේ ජූල්ස් වර්න්ගෙන්.
අවාසනාවට වගේ සිංහල සාහිත්‍ය ඇතුලෙ විද්‍යා ප්‍රබන්ධ ලියවෙන්නෙ පොඩ්ඩයි. ඒ ලියවෙන ඒවගෙනුත් සැලකිය යුතු තරම් තාර්කිකව ලියවිල තියෙන කතා ප්‍රමාණය ඊටත් අඩුයි. ඒකට හේතුව ලංකාවෙ තියන ‘ගඩොල් අච්චු’ අධ්‍යාපන ක්‍රමේද කියල වෙලාවකට මට හිතෙනව. ඒ උනත් හොඳ සිංහල විද්‍යා ප්‍රබන්ධ නැතුවම නෙවෙයි. දමිත නිපුණජිත් ලියපු “විස්මිත සිහින දකින්නා” කෙටි කතා සංග්‍රහය වගේම සුසිත රුවන්ගෙ “රාවණා මෙහෙයුම” එහෙමත් ඇත්තටම හොඳ විද්‍යා ප්‍රබන්ධ. නියම විද්‍යා ප්‍රබන්ධ වල තියන ‘ගතිය’ ඒවගෙ තියනව.
විද්‍යා ප්‍රබන්ධ වලින් වෙන එක හොඳක් තමයි ටිකක් ලොකුවට ලෝකෙ දිහා බලන්න අපිව පුරුදු කරන එක. එතකොට අපිට අපිවත් ටිකක් පොඩියට පේනව.
කාල් සේගන් කියනව වගේ පොළොව කියන්නෙ “අන්තරීක්ෂයේ දූවිලි පොදක් (a speck of dust in the cosmos)”.
අපි කොච්චර වාසනාවන්තද සහ ඒ එක්කම කොච්චරනං මෝඩද කියල තේරුං ගන්න ඒ ටිකම ඇති.
___
පින්තූරය