Pages

Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Sunday, 5 April 2015

බබලන්නෝ - අවසාන කොටස


මම කොහොමටත් සෝනාරය නිවා දමන්නෙ නැහැ. ඒ වගේම එහා මෙහා නොයන වෙලාවෙට උනත් මං විනාඩියකට සැරයක් විතර තිරය දිහා බලල සාමාන්‍ය තත්වය කොහොමද කියල සෝදිසි කරල බලනව. දැන් ඇතිවෙල තිබ්බ තත්වෙ තමයි, ‘පොකිරිස්ස’ තරම්ම ලොකු මොකක් හරි උතුරු පැත්තෙ ඉඳල එන්න පටන්ගෙන තිබුණ එක. මම දකිද්දි ඒක අඩි පන්සීයක් විතර සීමාවෙ ඉඳල හෙමින් කිට්ටු වෙමින් තිබුණ. මගේ විදුලි ආලෝකයන් නිවා දමපු මම, සැඩ පහරෙ සමබරව ඉන්න අව බලයෙන් දුවවමින් තිබුණ ජෙට් කපා හැරල දියවැල දිගේ පාවෙන්න උනා.

ෂපිරෝට කතා කරල මෙහෙ තව කවුරුහරි ඉන්නව කියන්න ඕනිකම තිබුණ උනත්, තව තොරතුරු ටිකක් හොයා ගන්නකං ඉවසල ඉන්න මං තීරණේ කරා. මේ තරං ගැඹුරෙ වැඩ කරන්න පුළුවන් කිමිදුම් යාත්‍රා තිබුණෙ තව රටවල් තුනකට විතරයි. ඒ හැමෝත් එක්කම මට බොහොම හොඳ, සුහදශීලී සබඳතා තිබ්බ. එකපාර කලබල වෙලා අනවශ්‍ය දේශපාලන අවුලක පැටලෙන්න කොහොමත් ඕනි නෑ.

සෝනාරය නැතුව ඉන්නව කියන්නෙ අන්ධ වෙලා ඉන්නව වගේ. ඒත් මම මෙතන ඉන්නව කියල හඟවන්න ඕනි නැති නිසා අකමැත්තෙන් උනත් ඒක වහල දාල මගේ ඇස් දෙකට පේන දෙයින් විතරක් යැපෙන්න මට සිද්ධ උනා. මෙච්චර ගැඹුරෙ වැඩ කරන කවුරු උනත් විදුලි ආලෝකයක් පාවිච්චි කරන්න ඕනි. ඒක නිසා ඒගොල්ලන්ට මාව පේන්න ගොඩක් කලින් මට ඒගොල්ලන්ව පේන්න ඕනි. ඉතින් මං උණුසුම් වගේම නිහඬ පුංචි කුටියට වෙලා, බොහොම හොඳ අවධානයෙන් වගේම සුපරික්ෂාකාරීව පිටත අන්ධකාරය දිහා බලාගෙන හිටිය. කොහොම නමුත් මං හිටියෙ එච්චරටම හිතේ කරදරෙන් නෙවෙයි.

ඉස්සරවෙලාම, හරියටම කොච්චර දුරින්ද කියල කියන්න බැරි තැනකින් දුර්වල ආලෝකයක් පේන්න පටන් ගත්ත. ඒක ටිකින් ටික ලොකු උනා. ඒත් මගේ මනසට වටහගන්න පුළුවන් විදිහෙ හැඩයකට හැරෙන්න තවමත් ඒකට බැරි උනා. ඒකෙ විසිරුණු දිලිසීම ටිකින් ටික දිලිසෙන තිත් දහස් ගානක් බවට පත් උනා. අන්තිමේදි ඒක පෙනුනෙ තාරකා මණ්ඩලයක් මගේ දිහාට පාවීගෙන එනව වගේ. ක්ෂීරපථයේ මැදට වෙන්න තියන ග්‍රහලෝකයක ඉඳන් බැලුවම මන්දාකිණියෙ තියන තාරකා වලාවන් පායන හැටි පේනව ඇත්තෙත් මේ වගේ.

නොදන්න දේවල් වලට මිනිස්සු බයයි කියන එක ඇත්තක් නෙවෙයි. මිනිස්සුන්ව බය කරන්න පුළුවන් ඔවුන් දන්න සහ දැනටමත් අත්විඳල තියන දේවල් වලට විතරයි. මගේ දිහාට එන්නෙ මොකක්ද කියල හිතාගන්න මට පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒත් මුහුදෙ ඉන්න මොනම සතෙකුටවත් අඟල් හයක් ගණකම ඉස්තරම් ස්විස් යුධ සන්නාහ තහඩු වලින් වටවෙල ඉන්න මට අතක් තියන්න පුළුවන්කමක් නැහැ.

තමන්ගෙම ආලෝකයෙන් බබලමින් හිටිය ඒක වලාකුළු දෙකකට බෙදිල වෙන් වෙද්දි තිබුණෙ මම හිටිය තැනට ගොඩක්ම කිට්ටුවෙන්. ටිකින් ටික ඒ මොනාද කියල මගේ බුද්ධියට වැටහෙන්න පටන් ගත්ත. අන්ධකාර අගාධයේ ඉඳල මගේ දිහාට එමින් ඉන්නෙ සුන්දරත්වය සහ භීතිය කියන දෙකම කියල මට තේරුම් ගියා.

මං ඉන්න තැනට කිට්ටු වෙමින් ඉන්නෙ විශාල දැල්ලො කියල දැනගත්තම මට ඉස්සරවෙලාම දැනුණෙ භීතිය. ජෝ ගෙ කතා ඔක්කොම මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගත්ත. ඊලඟට, සැලකිය යුතු තරමෙ බලාපොරොත්තු කඩවීමකුත් එක්ක මට තේරුම් ගියේ උන්ගෙ විශාලත්වය අඩි විස්සක් විතර විතරයි කියල. උන් ‘පොකිරිස්සට’ වැඩිය ටිකක් ලොකු උනාට උන්ගෙ බර ඒකෙ බරෙන් බොහොම සුළු කොටසක් විතරයි. මට කිසිම හිංසාවක් කරන්න උන්ට බැහැ. ඒ ඇරත් උන්ගෙ තිබුණ විස්තර කරන්න බැරි තරමේ සුන්දරත්වය උන්ගෙ අනතුරුදායක බව පළවා හැරිය.

මේ කතාව විකාරයක් වගේ දැනෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මගේ සංචාරවලදි මං ලෝකෙ ඉන්න සත්තුන්ගෙන් වැඩි හරියක් දැකල තියනව. ඒත් දැන් මගේ ඉස්සරහ පාවි පාවි තියන බබලන භූත රූප වගේ දෙයක්නං මං කවදාවත් දැකල නැහැ. උන්ගෙ සිරුරු දිගේ ස්පන්දනය වෙමින් සහ නටමින් ගමන් කරන වෛවර්ණ ආලෝකයන් නිසා උන්ව පෙනුණෙ හරියට මැණික් කැට වලින් සැරසිල ඉන්නව වගේ. ඒව තත්පර දෙකකට වඩා එක විදිහට තිබුණෙ නැහැ. චංචල රසදිය චාපයන් වගේ දීප්තිමත් නිල් පාටින් දිලිසෙමින් තිබුණ පුල්ලි එකපාරටම තාප දීප්ත නියොන් රතු පාටට මාරු උනා. ග්‍රහිකාවන් පෙනුණෙ හරියට වතුර දිගේ ඇදීගෙන යන බබළන පබළු වැල් වගේ. එහෙමත් නැත්නම් රෑට අහසෙ ඉඳන් බැලුවම අධිවේගී මාර්ගයක් දෙපැත්තෙ තියන පහන් කණු වල ආලෝකය පේනව වගේ. උන්ගෙ අතිවිශාල ඇස්, මේ පසුබිම් දීප්තියට වසන් වෙලා යන්තමින් පේන්න තිබුණ. අද්භූත විදිහට මනුස්ස ගතියක් වගේම බුද්ධිමත් බවකුත් තිබුණ ඒව දිළිසෙන මුතු වලින් හැදුණු ඔටුන්නක් වගේ රටාවකින් වටවෙලා තිබුණ.

මට සමාවෙන්න. ඒත් මට විස්තර කරන්න පුළුවන් ඉස්තරම්ම විදිහ තමයි ඔය. මේ සජීවී බහුරූපේක්ෂයන්ට සාධාරණේ ඉෂ්ඨ කරන්න පුළුවන් චිත්‍රපටි කැමරාවකට විතරයි. මං කොයි තරම් වෙලාවක් උන් දිහා බලාගෙන හිටියද කියල නිච්චියක් නැහැ. ඔවුන්ගෙ බබලන අලංකාරයට කොච්චර වශී වෙලා හිටියද කියනවනං ඒ වෙනකොට මගේ මෙහෙයුම ගැනත් මට අමතක වෙලයි තිබුණෙ. උන්ගෙ සියුමැලි, කෙසඟ ග්‍රාහිකා වලින් ජාලය කඩන්න බැහැයි කියල හොඳටම පේන්න තිබුණ. ඒත් මේ සත්තු මෙතනට ආපු එක බොහොම කුතුහලය දනවනසුළුයි. කාර්පකින් ඒකට ‘සැක සහිතයි’ කියල කියයි.

මං මුහුද මතුපිටට කතා කරන්න ලෑස්ති වෙච්ච වෙලාවෙ අදහගන්න බැරි දෙයක් දැක්ක. ඒක මෙච්චර වෙලාවක් මගේ ඇස් පනාපිටම තිබිල තියනව. ඒත් මේ වෙනකංම ඒ මොකක්ද කියල මං තේරුම් අරං තිබිල නැහැ.

දැල්ලො දෙන්න එකිනෙකා එක්ක කතා කරමින් ඉන්නව.

අර දිලිසෙන, ඉක්මනින් ඇතිවෙලා නැතිවෙලා යන රටාවන් අහඹු විදිහට ඇතිවෙනව, නැතිවෙනව නෙවෙයි. ඒවගෙ ‘බ්‍රෝඩ් වේ’ වල හරි ‘පිකඩිලි’ වල හරි තියන ආලෝක සංඥා පුවරුවල තරම්ම අර්ථවත් බවක් තියනවයි කියල සහතික වෙන්න මට පුළුවන්. හැම තත්පර කීපයකටම වතාවක් මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් විදිහෙ රූපයක් දිස්උනා. ඒත් ඒ මොකක්ද කියල පහදගන්න කලින් ඒක මැකිල ගියා. නිතර දෙවේලෙ දකින බූවල්ලත් ක්ෂනිකව පාට වෙනස් කරල උගේ හැඟීම් ප්‍රකාශ කරනව කියල මං දැනං හිටිය. ඒත් මේක ඊට වඩා ගොඩක් දියුණු දෙයක්. ඒක ඇත්තම සන්නිවේදන ක්‍රමයක්. මෙතන ඉන්නෙ එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරමින් ඉන්නෙ සජීවී විදුලි ආලෝක සංඥා පුවරු දෙකක්.

‘පොකිරිස්සගෙ’ නොවරදින රූපයක් දැක්කම මගේ හිතේ තිබ්බ සැකේ අන්තිම බින්දුවත් නැති වෙලා ගියා. මම විද්‍යාඥයෙක් නොවුනත් මේ වෙලාවෙ මට දැනෙන්න ඇත්තෙ ලොකු සොයාගැනීමක් කරපු වෙලාවෙ නිවුටන්ට හරි අයින්ස්ටයින්ට හරි දැනිච්ච විදිහටමයි. මේක මාව ලෝකප්‍රසිද්ධ කරයි ...

ඊලඟට, බොහොම අපූරු විදිහකට රූපය වෙනස් උනා. ‘පොකිරිස්ස’ ආයිත් පාරක් ඒ රූපෙ තිබ්බ. හැබැයි ටිකක් පොඩියට. ඒක ලඟින් තව ටිකක් පොඩියට අමුතු විදිහෙ රූප දෙකක් තිබ්බ. ඒව සමන්විත උනේ පොඩි කළුපාට තිත් දෙකක් වටේට විහිදිච්ච ඉරි දහයක රටාවකින්.

මම කිව්වනෙ ස්විස් ජාතිකයො භාෂා තේරුම් ගන්න දක්ෂයි කියල. කොහොම උනත්, දැල්ලෙක් තමන්ට තමන්ව පේන විදිහ නිරූපණය කරන්නෙ මෙහෙමයි කියල තේරුම් ගන්න පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න උනා. මට පේන්න තිබ්බෙ දැන් තත්වය නිරූපණය කරන දළ සටහනක්. ඒත් ඇයි දැල්ලො දෙන්නව රූපෙ මෙච්චර පුංචියට පෙන්නන්නෙ?

ඒකට උත්තරයක් කල්පනා කර ගන්න පුළුවන් වෙන්න කලින් තුන්වෙනි දැල්ලෙක්ගෙ රූපයක් සජීවී තිරය මත දර්ශණය උනා. මේක අති විශාලයි. ඒකත් එක්ක සංසන්දනය කරද්දි අනිත් රූප පෙනුනෙ ගොඩක්ම පොඩියට. සදාකාලික රාත්‍රිය පසුබිම් කරගෙන ඒ පණිවිඩය තත්පර කීපයක් පේන්න තිබ්බ. ඊලඟට ඒ පණිවිඩය පෙන්නපු දැල්ලා තමන්ගෙ සගයා මට තනි රකින්න තියල පුදුමාකාර වේගෙකින් පිට වෙලා ගියා.

දැන් ඒකෙ තේරුම හොඳටම පැහැදිලියි. “දෙයියනේ!” මං මටම කියා ගත්ත. “මාව ඒගොල්ලන්ට ආංබාං කරගන්න බැරි වෙයි කියල ඒගොල්ලො හිතනව. ඒගොල්ලො ගියේ ඒගොල්ලන්ගෙ ‘ලොකු සහෝදරයව’ එක්කරගෙන එන්න.”

ලොකු සහෝදරයට කරන්න පුළුවන් දේවල් ගැන ජෝ වොට්කින්ස්ට එයාගෙ පරීක්ෂණ වලිනුයි පත්තර කෑලි වලිනුයි ලැබිල තිබුණට වැඩිය හොඳ සාක්කි මට ලැබිල තිබුණ.

අන්න ඒකයි කාරණාව. මම එතන තවදුරටත් රැඳිල නොඉන්න තීරණේ කරපු එක ගැන ඔයගොල්ලො පුදුම වෙන එකක් නැහැ. ඒත්, යන්න කලින් මාත් ටිකක් කතා කරල යන්න ඕනි කියල මට හිතුණ.

ගොඩ වෙලාවක් අන්ධකාරයේම හිටිය නිසා මගේ විදුලි ආලෝකය කොච්චර ප්‍රබලද කියල මටම අමතක වෙලයි තිබුණෙ. ඒවගෙ එළියට මගේ ඇස් රිදෙන්න ගත්ත. අවාසනාවන්ත දැල්ලට ඒකෙන් දැනෙන්න ඇත්තෙ බොහොම කටුක වේදනාවක්. දරාගන්න බැරි දැඩි ආලෝකයෙන් භ්‍රාන්ත උන උගේ ආලෝකය සහ අලංකාරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්, ඇස් වලට කළුපාට බොත්තම් දෙකක් තියන නිකංම නිකං සුදුමැලි ජල්ලිමය පැසක් වගේ ඌව පේන්න ගත්ත. ටික වෙලාවක් යනකං ඌ හිටියෙ ඇතිවිච්ච කම්පනය නිසා සිහි නැතිවෙලා වගේ. ඊලඟට, මම ලොකු වෙනසක් සිද්ධ වෙන්න යන ලෝකයක් දිහාට ඉහළනගින අතරෙ ඌ තමන්ගෙ සගය ගිය දිහාටම ඉක්මනින් පිටවෙලා යන්න ගියා.

“මට ඔයාගෙ කඩාකප්පල්කාරය හම්බඋනා.” ඒගොල්ලො ‘පොකිරිස්සගෙ’ දොර ඇරපු වෙලාවෙ මම කාර්පකින්ට කිව්ව. “එයා ගැන විස්තර හැම එකක්ම දැනගන්න ඕනිනං ජෝ වොට්කින්ස්ගෙන් අහල බලන්න.”

ඔහුගෙ මූණ වෙනස් වෙච්ච හැටි දැකල සතුටු වෙන ගමන්, ඒ ගැන ටිකක් ඔළුව වෙහෙසන්න මං දිමිත්‍රිට ඉඩ හැරිය. ඊලඟට මං ටිකක් වෙනස්කම් කරපු මගේ වාර්තාව දුන්න. කෙලින්ම එහෙම කියන්නෙ නැතුව, මට හමුඋන දැල්ලො වෙලා තිබ්බ හානිය සිදු කරන්න තරම් ශක්තිමත් කියල මං මගේ වාර්තාවෙන් හැඟෙන්න ඇරිය. මං දැක්ක සංවාදය ගැන මොනාවත්ම කියන්න ගියේ නැහැ. ඒකෙන් වෙන්නෙ විශ්වාස කරන්න බැරි දෙයක් බවට ඒක පත්වෙන එක. ඒ ඇරත්, මේ ගැන හිතල බලන්න සහ පුළුවන්නං තවමත් පැහැදිලි නැති දේවල් වලට උත්තර හොයා ගන්න මට ටිකක් කල් ඕනි උනා.

රුසියානුවො දන්න තරමට වඩා වෙන මොනාවත් නොදන්නව උනත් ජෝ මේකට ලොකු උදව්වක් උනා. කොච්චර විශ්මයජනක විදිහට සකස්උන ස්නායු පද්ධතියක් දැල්ලොන්ට තියනවද කියල ඔහු මට කිව්ව. උන්ගෙන් සමහරක් තමන්ගෙ ඇඟ පුරාම තියන අපූරු ‘වර්ණධර’ පාවිච්චි කරල තත්කාලීන තුන් පැහැ මුද්‍රණයෙන් තමන්ගෙ පෙනුම ක්ෂණිකව වෙනස් කර ගන්න හැටි ඔහු විස්තර කරා. නොඅනුමානවම මේ හැකියාව ඇති වෙන්න ඇත්තෙ වේශාන්තරණයට උදව් වෙන්න. ඒත් ඒක සන්නිවේදන මාධ්‍යයක් විදිහට දියුණු වීම ස්වභාවිකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්.

ඒත් ජෝ ට තේරුම් ගන්න බැරි එක දෙයක් තියනව.

“උන් ජාලය ගාව කර කර හිටියෙ මොකක්ද?” ඔහු මගෙන් දිගින් දිගටම අහනව. “උන් ශීත රුධිරය තියන අපෘෂ්ඨවංශිකයො. හරිනං උන් ආලෝකයට වගේම උණුසුමටත් අකමැති වෙන්න ඕනි.”

ඒ ඇයි කියල ජෝ ට තේරුම් ගන්න බැහැ. ඒත් මට ඒ ඇයි කියල තේරෙනව. මේ අභිරහස විසඳන්න උදව් වෙන වැදගත්ම තොරතුරත් ඒකයි.

ඒ දැල්ලො ‘ට්‍රින්කො ඩීප්’ වලට ඇවිල්ල තියෙන්නෙ මිනිස්සු දක්ෂිණ ධැවයට හරි හඳට හරි යන හේතුව නිසාමයි කියල මට විශ්වාසයි. පිරිසිදු විද්‍යාත්මක කුතුහලය නිසා, කුරුබිලියෙ පැත්තකින් පැනනගින මේ උණුදිය ගීසරය අධ්‍යයනය කරන්න තමන්ගෙ ශීත නිවහනෙන් එළියට උන් ඇදිල එන්න ඇති. මේ තියෙන්නෙ අමුතු සහ පැහැදිලි කල නොහැකි සංසිද්ධියක්. සමහරවිට මේක උන් ජීවත් වෙන පිළිවෙලට තර්ජනයක් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් තමන්ගෙ යෝධ ඥාති සහෝදරයට (සේවකයා? වහලා!) කියල අධ්‍යයනය කරන්න ඒකෙන් කොටසක් ගෙන්න ගන්නව. ඒ මොකක්ද කියල ඒගොල්ලො තේරුම් ගනී කියල මං හිතන්නෙ නෑ. දැනට සියවසකට කලින් හිටිය විද්‍යාඥයෙකුටවත් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඒත් ඒගොල්ලො උත්සාහ කරනව. ඒකයි වැදගත්.

හෙට අපි අපේ බාධක උපායන් යොදන්න පටන් ගන්නව. දැල්ලොන්ව ඈත් කරල තියන්න සමත් වෙයි කියල ෂපිරෝ හිතන විශාල විදුලි ආලෝක සවි කරන්න මම ආයිත් ‘ට්‍රින්කො ඩීප්’ වෙත යනව. ඒත් බුද්ධිය ගැඹුරු මුහුදේ ඇතිවෙමින් තියනවනං ඒ උපක්‍රමය කොච්චර කාලයක් වැඩ කරයිද?

මම මේක පටිගත කරන්නෙ ත්‍රිකුණාමලය බලකොටුවෙ පුරාණ ආරක්ෂක පවුර පාමුල වාඩි වෙලා, ඉන්දියානු සාගරයට ඉහලින් හඳ පායන හැටි බලාගෙන ඉන්න ගමන්. හැමදේම හොඳින් සිද්ධ උනොත්, මේක ජෝ මට ලියන්න කියල වද කරමින් ඉන්න පොතට ආරම්භයක් සපයල දෙයි. එහෙම නොවුනොත් - එහෙනං, හෙලෝ ජෝ, මං දැන් කතා කරන්නෙ ඔයාට. කරුණාකරල මේක ප්‍රකාශනය කරන්න ඔයාට හොඳයි කියල හිතෙන විදිහට සංස්කරණය කරන්න. ඒ වගේම තොරතුරු හැම එකක්ම නොදීම ගැන මම ඔබෙන් සහ ලෙව් ගෙන් සමාව ඉල්ලනව. ඒ ඇයි කියල  දැන් ඔයගොල්ලන්ට තේරෙනව ඇති.

මොන දේ සිද්ධ උනත්, කරුණාකරල මේක මතක තියා ගන්න. ඒ අය ලස්සන, චමත්කාරජනක සත්ත්වයො. ඔයාලට පුළුවන්නම් ඒ අයත් එක්ක සමාදානෙන් ඉන්න.


___

වෙත: බලශක්ති අමාත්‍යාංශය, මොස්කව්
විසින්: ලෙව් ෂපිරෝ, ප්‍රධාන ඉංජිනේරු, ත්‍රිකුණාමලය තාප විදුලි ව්‍යාපෘතිය.

හර් ක්ලවුස් මුලර්ගේ අවසාන කිමිදුමෙන් පසු ඔහුගේ බඩුබාහිරාදිය අතර තිබී සොයාගත් පටිගත කිරීමේ සම්පූර්ණ අත් පිටපත මේ සමග ඇත. වැදගත් කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා සහය ලබා දීම පිළිබඳව ටයිම්ස් පුවත්පතේ ජෝ වොට්කින්ස් මහතාට අපි බොහෝ කෘතඥපූර්වක වෙමු.

හර් මුලර්ගේ අවසාන තේරුම්ගත හැකි පණිවිඩය යොමු කෙරුණේ වොට්කින්ස් මහතාට බවත් එය පහත පරිදි බවත් ඔබලාට මතක ඇතැයි සිතමි.


“ජෝ! මෙල්විල් ගැන ඔයා කියපු කතාව හරි! මේ සතා අති විශා ...”



නිමි.


_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

___
පින්තූරය

Sunday, 29 March 2015

බබලන්නෝ - 4 කොටස


පැය විසිහතරකට පස්සෙ මම ‘පොකිරිස්ස’ ඇතුලට වෙලා හානි වුන ජාලය දිහාවට හෙමින් පහත බහිමින් හිටිය. මෙහෙයුම රහසක් විදිහට තියාගන්න කිසිම විදිහක් තිබුණෙ නැති නිසා ජෝ ලඟපාත යාත්‍රාවක හිටිය උනන්දු සහගත නරඹන්නෙක් වෙලා හිටිය. ඒක රුසියානුවන්ගෙ ප්‍රශ්ණයක් මිස මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. ජෝ විශ්වාස කටයුතු කෙනෙක් විදිහට පිළිගන්න කියල මං ෂපිරෝට කියල බැලුව. ඒත් කාර්පකින් ගෙ ස්ලැවික් මානසිතක්වය ඒ අදහස නිෂේධ කරල දැම්ම. ත්‍රිකුණාමලය කියන්නෙ දැන් වැදගත් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියන තැනක් කියන පැහැදිලිවම පේන පිළිතුර නොසලකා හැරල, ‘ඇමරිකන් වාර්තාකාරයෙක් මේ වෙලාවෙ මෙහාට කඩාපාත් වෙන්නෙ ඇයි?’ කියල ඔහු කල්පනා කරන හැටි කෙනෙක්ට පේන තරම්.

හරියට කරනවනම්, ගැඹුරු මුහුදෙ කරන ක්‍රියාකාරකම්වල කිසි ප්‍රබෝධමත් ගතියක් වත් ආවේගශීලී ගතියක්වත් ඇත්තෙ නැහැ. ආවේගශීලීත්වය කියන්නෙ දූරදර්ශීභාවයක් නැතිකම, ඒ කියන්නෙ අදක්ෂභාවය. මගේ වෘත්තියේ අදක්ෂ අයට වැඩි ආයුෂ නැහැ. ආවේගශීලී අයට වෙන්නෙත් ඒ ටිකමයි. මං මගේ රැකියාවෙ යෙදුනෙ කාන්දුවෙන කරාමයක් එක්ක ඔට්ටු වෙන ජලනළ කාර්මිකයෙක්ට තියෙන විදිහේ සංයමයකින්.

කොයි වෙලාවක හරි ඒව ගලවල අලුත් කොටස් හයි කරන්න වෙන නිසා ජාලය නිර්මාණය කරල තිබ්බෙ නඩත්තු කරන්න පහසු වෙන ආකාරයටයි. වාසනාවකට වගේ පොටවල් වලට හානි වෙලා තිබුණෙ නැහැ. විදුලි ඉස්කුරුප්පු නියණෙන් ඇල්ලුවම සම්බන්ධක මුරිච්චි පහසුවෙන් ගැලවිල ආව. ඊලඟට මම බරපතල වැඩට පාවිච්චි කරන අඬුවට පාලනය මාරු කරල ජාලයේ හානි උන කොටස කිසිම අපහසුවකින් තොරව ඔසවල ගත්ත.

දිය යට කරන ක්‍රියාකාරකමක් දඩිබිඩියෙ කරන්න නරකයි. ඔබ එකපාර ගොඩක් දේවල් කරන්න හැදුවොතින් ඔබ අතින් වැරැද්දක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් අතට වැඩ ටික හොඳින් සිද්ධ වෙලා, සතියක් වැය වෙනව කියල ඔබ කියපු වැඩේ දවසකින් ඉවර කරොත්, ඔහු ගෙවන මුදලට හරියන සේවාවක් සැපයුවෙ නැහැ කියල සේවාලාභියාට හිතෙන්න පුළුවන්. එදා හවසම ජාලයෙ අළුත් කොටස සවි කරන්න පුළුවන්කම තිබුන උනත් මම හානිඋන ඒකකය මතුපිටට ගෙනල්ල එදා දවසෙ වැඩ කටයුතු අහවර කළා.

තාප මූලාවයවය පරීක්ෂා කිරීම සඳහා කඩිමුඩියෙම අරගෙන ගියාට පස්සෙ, මම හවස් වරුවේ ඉතිරි හරිය ජෝ ගෙන් හැංගි හැංගි ගත කරා. ත්‍රිකුණාමලය කියන්නෙ පොඩි නගරයක් උනත්, ප්‍රදේශයේ සිනමා ශාලාවට ගොඩවිච්ච මට ඔහුගෙන් වසන් වෙලා ඉන්න පුළුවන් උනා. එතන පැය කීපයක් තිස්සෙ වාඩි වෙලා, වරද්දාගත් අනන්‍යතාවය, බේබදුකම, අත්හැර යාම, මරණය සහ සිහි විකල් වීම කියන එකම ගෘහස්ත අර්බුද ටිකට පිට පිට පරම්පරා තුනක් තිස්සෙ මුහුණදෙන පවුලක් ගැන කියවෙන කෙළවරක් නැති දෙමළ චිත්‍රපටියක් බලන්න මට අවස්තාව ලැබුණ. නිකංම නෙවෙයි, වෛවර්ණව වගේම උපරිම සද්දෙට.

පොඩි හිසේ කැක්කුමක් තිබුණ උනත්, පහුවදා හිමිදිරිය පහුඋන ගමන්ම වගේ මම හිටියෙ වැඩ බිමේ. (ජෝ ත් එතනට ඇවිත් හිටිය. ඒ විතරක් නෙවෙයි, නිස්කලංක දවසක මාළු බාන්න ඕනි හැමදේම සූදානම් කරගෙනම සර්ගෙයි ත් ඇවිත් හිටිය). ‘පොකිරිස්සට’ ගොඩ විච්ච මම, යාත්‍රාවෙ දොඹකරයෙන් ඒක මුහුදට පහත් කරන අතරවාරයේදි  ප්‍රීතියෙන් ඔවුන්ට අත වැනුව. ජෝ ට නොපෙනෙන්න, යාත්‍රාවෙ අනෙත් පැත්තෙන්, අලුතින් සවි කරන්න යන ජාලය මුහුදට පහත් කරා. බඹ කීපයක් යටදි මම ඒක දොඹකරයෙන් ඉවත් කරගෙන ‘ට්‍රින්කො ඩීප්’ හි පතුලට අරගෙන ගියා.

පස්වරුවෙ මැදක් වෙනකොට කිසි කරදරයක් නැතුව ඒක සවි කරල අවසන් කළා. මම ආපහු මතුපිටට එන්න කලින්, අගුළු මුරිච්චි හොඳින් තද කරල සන්නායක තිත් පෑස්සුම් කළා වගේම, ගොඩබිම හිටිය ඉන්ජිනේරුවො ඒ අයගෙ අඛණ්ඩතා පරීක්ෂණත් සම්පූර්ණ කරා. මම නැව් තට්ටුවට පයගහන වෙලාව වෙද්දි පද්ධතිය නැවත ක්‍රියා කරන්න පටන්ගෙන තිබ්බ. හැම දේම සාමාන්‍ය අතට හැරිල තිබ්බ වගේම, (තවමත් කාටවත් උත්තරයක් හොයා ගන්න බැරි උන ප්‍රශ්ණය ගැන කල්පනා නොකර ඉන්න වෙලාවෙදි ඇරෙන්න) කාර්පකින් පවා හිනා වෙමින් හිටිය.

වඩා හොඳ පැහැදිලි කිරීමක් ඕනි වෙලා තිබුණත්, තවමත් මගේ අදහස උනේ ලොකු ගලක් වැටීම නිසා මේ දේ වෙන්න ඇතියි කියල. ඒක රුසියානුවොත් පිළිගනියි කියල මං බලාපොරොත්තු උනා. එතකොට ජෝ ත් එක්ක කරගෙන යන මේ හැංගිමුත්තං සෙල්ලම අපිට නවත්තල දාන්න පුළුවන් වෙයි.

ෂපිරෝ යි කාර්පකිනු යි දෙන්නම මූණවල් දික් කරගෙන මාව මුණගැහෙන්න ආවම, ඒ වැඩේ හරියන්නෙ නෑ කියල මං තේරුම් ගත්ත.

“ක්ලවුස්, ...” ලෙව් කිව්ව. “... ඔයා ආයිත් පහළට යන්න ඕනි.”

“ඔයගොල්ලන්ගෙ සල්ලි තමයි ඉතිං ...” මම උත්තර දුන්න. “... ඒත් මම මොනාද කරන්න ඕනි?”

“හානි විච්ච ජාලය අපි පරීක්ෂා කරල බැලුව. තාප මූලාවයවයෙ කොටසක් අඩුයි. ‘කවුරුහරි’ ඕනිකමින්ම ඒක කඩල අරගෙන යන්න ඇති කියල දිමිත්‍රි හිතනව.”

“එහෙනං ඒගොල්ලො ඒක කරල තියෙන්නෙ අන්තිම මෝඩ විදිහට, ...” මම උත්තර දුන්න. “... ඒ මං ගාව වැඩ කරන කෙනෙක්නං නෙවෙයි කියල ඔයගොල්ලන්ට සහතික වෙන්න මට පුළුවං.”

කාර්පකින් ඉන්න තැන ඒ වගෙ විහිළු කරන එක අවදානම්. කවුරුවත් පොඩ්ඩක්වත් හිනා උනේ නැහැ. අඩුම තරමෙ මං වත්.  ඔහුට මොකක් හරි පොටක් පෑදිල ඇති කියල මට මේ වෙද්දි හිතෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.

‘ට්‍රින්කො ඩීප්’ වෙතට මගේ අවසන් කිමිදුම පටන් ගනිද්දි ඉර බහිමින් තිබුණ. ඒත් දවසෙ අවසානයට මේ ගැඹුරෙ කිසිම තේරුමක් ඇත්තෙ නැහැ. මුහුදෙ ඉන්න බබළන සත්තු අන්ධකාරයේ නිවෙන දැල්වෙන දිහා වගේම සමහර වෙලාවලදි නිරීක්ෂණ කවුළුවට පිටතින් අහස් කූරු වගේ පුපුරාහැලෙන හැටිත් බලාගෙන ඉන්න මම කැමති නිසා ආලෝකය රහිතවම මම අඩි දෙදාහක් පහළට ගමන් කළා. මේ විවෘත ජලයෙදි මොකකවත් ගැටීමේ අනතුරක් තිබ්බෙ නැහැ. ඒ කොහොම උනත් මම පුළුල් පරාස සෝනා උපකරණය ක්‍රියාත්මක කරල තිබ්බ. මගේ ඇස් වලින් කරනවට වඩා හොඳට ඒකෙන් අනතුරු හඳුනගන්න පුළුවන්කම තිබ්බ.

බඹ හාරසීයෙදි, මොකක් හරි වැරැද්දක් වෙලා තියනව කියල මට දැනුණ. සිරස් හඬකුරුවට පතුළ පෙනෙන්න පටන්ගෙන තිබ්බ උනත්, ඒක ලං වෙමින් තිබ්බෙ බොහොම හෙමින්. මගේ පහළ බැසීමේ වේගය ගොඩක්ම අඩු වෙලා. තවත් ඉපිලුම් ටැංකියකට වතුර පිරෙන්න ඇරල ඒක ලේසියෙන්ම වැඩි කරන්න මට පුළුවන්කම තිබුණ උනත්, මම එහෙම කරන්න අදිමදි කරා. මගේ වෘත්තියෙදි, අසාමාන්‍ය හැම දේටම පැහැදිළි කිරීමක් අවශ්‍යයි. එහෙම එකක් ලැබෙනකං පමා වීම නිසා තුන් පාරක් මම පණ බේරගෙන තියනව.

උෂ්ණත්වමානයෙන් මට උත්තරය ලැබුණ. පිටත උෂ්ණත්වය තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා අංශක පහක් වැඩියි. ඒත් ඒ ඇයි කියල තේරුම් ගන්න මට තත්පර කීපයක් ගියා.

මං ඉන්න තැනට අඩි දෙතුන්සීයක් පහළින් තියන අළුත්වැඩියා කරපු ජාලය දැන් ඒකෙ උපරිම බලයෙන් ක්‍රියාත්මක වෙනව. ‘ට්‍රින්කො ඩීප්’ සහ උඩ ගොඩබිමේ තියන සූර්ය පොකුණ අතර උෂ්ණත්ව වෙනස සමබර කරන්න ගන්න උත්සාහයේදි ඒක මෙගාවොට් ගානක් තාපය පිට කරනව. ඒකට කොහොමවත් සමබරතාවයකට එන්න බැහැ. ඒත් ඒක එහෙම කරන්න ගන්න උත්සාහයේදි විදුලිය නිපදවෙනව. ඒ ක්‍රියාවලියෙ අමතර අතුරුඵලයක් විච්ච උණු දිය ගීසරය මාව ඉහලට තල්ලු කරමින් ඉන්නව.

මම ජාලය කිට්ටුවට ආවට පස්සෙ, ඉහළ නගින ජල ප්‍රවාහයේ ‘පොකිරිස්ස’ එක විදිහකට තියා ගන්න එක ගොඩක්ම අපහසු උනා. තාපය කැබින් කුටිය තුලට කාන්දු වෙමින් තිබුණ නිසා මට දාඩිය දාන්න පටන්ගෙන තිබ්බ. මුහුදු පතුළෙදි රස්නෙ නිසා දාඩිය දානව කියන්නෙ අලුත්ම අත්දැකීමක්. ඉහළ නගින ජලය නිසා අවට මිරිඟුවක් වගේ පෙනෙන එක්ත් ඒ වගේම අළුත් අත්දැකීමක්. ඒක මගේ විදුලි ආලෝකය මං සෝදිසි කරමින් හිටිය පාෂාන බිත්තිය මත නටන්න සැලැස්සුව.

බඹ පන්සීයක් ගැඹුරු අන්ධකාරයේ ආලෝකයෙන් දිලිසි දිලිසි, ඒ වෙද්දි වහලයක තියන තරමේ තියුණු බෑවුමක් තිබ්බ කුරුබිලියෙ මුහුණත දිගේ හෙමින් පහලට ගමන් කරන මාව හිතින් මවා ගන්නකො. නැතිඋන මූලාවයව කොටස තවමත් තියනවනං ඒක මේ කිට්ටුවපාතම තියෙන්න ඕනි. එක්කෝ ඒක මට විනාඩි දහයක් ඇතුලත හම්බවෙන්න ඕනි, එහෙම නැත්නම් ඒක හම්බවෙන්නෙම නැහැ.

පැයක සෝදිසියකින් පස්සෙ කැඩ්ච්ච විදුලි බුබුළු කීපයක් (ඒව කොච්චරක් නැව් වලින් මුහුදට වීසි කරනවද කියන එක පුදුම එළවන සුළුයි. ලෝකෙ මුහුදු පතුලවල් ඒවගෙන් වැහිලයි තියෙන්නෙ.), හිස් බියර් බෝතලයක් (ඒ ගැන කියන්න වෙන්නෙත් ඒ කතාවමයි), සහ අළුත්ම අළුත් බූට් සපත්තුවක් හොයා ගන්න මට පුළුවන් උනා. ඒ තමයි මම හොයාගත්ත අන්තිම දේ. මොකද, මම තවදුරටත් ඉන්නෙ තනියම නෙවෙයි කියල ඊලඟට මම හොයාගත්ත නිසා.



මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

___
පින්තූරය

Sunday, 22 March 2015

බබලන්නෝ - 3 කොටස


ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය දිහාට පරෙස්සමින් යාත්‍රාව යොමු කරපු අපි හරියටම ජාලයට උඩින් ස්ථානගත උනා. කුඩා කිමිදුම් යාත්‍රාවක් වගේ පේන ස්වයං ප්‍රචාලක කැමරාව බෝට්ටුවෙ එක් පැත්තකින් මුහුදට දැමුණා. මොනිටර දිහා ඇස් දල්වගෙන බලා හිටපු අපි මනසින් ඒකත් සමගම මුහුදු පතුල දිහාවට යන්න උනා.

ජලය පුදුමාකාර විදිහට පැහැදිලියි වගේම පුදුමාකාර විදිහට පාළුයි. ඒ උනත් ජීවීන් ඇති බව පෙන්වන සළකුණු කිහිපයක් මුහුදු පතුලට කිට්ටු වෙද්දි අපිට දැකගන්න පුළුවන් උනා. කුඩා මෝරෙක් ඇවිත් අපිට එරෙව්වා. ඊලඟට ස්පන්දනය වෙන ලපයක් වගේ ජල්ලියෙක් පාවෙලා ගියා. ඌව ලුහුබැඳගෙන ගියේ එකිනෙක සමග පැටලුන සහ ලෝම වලින් ගැවසුන අඬු සිය ගණනක් තියන ලොකු මකුළුවෙක් වගේ සතෙක්. අන්තිමේදි බෑවුම් සහිත කුරුබිලි බිත්තිය දර්ශණ පථයට ආවා. අපි හරියටම ඉලක්කයට ඇවිත් හිටියා. මුහුද අභ්‍යන්තරයට ගමන් කරන මහත කේබල්, මම මාස හයකට ඉස්සරවෙලා අවසාන පරීක්ෂා කිරීම කරද්දි දකින්න තිබුණ විදිහටම තිබුණා.

අව බල ජෙට් ක්‍රියාත්මක කරපු මම කැමරාවට විදුලි කේබල් දිගේ පහලට පාවෙලා යන්න ඉඩ හැරියා. පාෂාණමය බිත්තියට කාවද්දපු කූඤ්ඤ වලන් සවිමත්ව සම්බන්ධ වෙලා තිබ්බ ඒව හොඳ තත්වයෙන් තියෙන බව පේන්න තිබ්බ. ආපදාවක් වෙලා තියන බව කියවෙන සලකුණක් හරි දකින්න ලැබුණෙ ජාලය ලඟට ආවමයි.

ලයිට් කණුවක හැප්පුන කාර් එකක රේඩියේටරේ දැකල තියනවද? ජාලයෙ එක කොටසක් පෙනුණෙ ආන්න ඒ වගේ. මොකක් හරි නිසා ඒක පොඩිපට්ටම් වෙලා තිබ්බ. හරියට පිස්සෙක් කුළුගෙඩියකින් ඒකට තඩිබාල වගේ.

මගේ කරට උඩින් බලාගෙන හිටපු අය පුදුමයෙන් වගේම තරහින් මුමුණන්න පටන් ගත්ත. ඒ අස්සෙ කවුරු හරි ‘සැබොටාෂ්’ කියල කියනව ඇහිච්ච මම පළවෙනි වතාවට එහෙම දෙයක් ගැන වදවෙන්න පටන් ගත්ත. මේකට තිබ්බ අනෙත් එකම පැහැදිලි කිරීම තමයි ලොකු ගලක් වැටීම නිසා මෙහෙම උනා කියන එක. ඒත් එහෙම වැටෙන්න පුළුවන් ගල් තියනවද කියල බලන්න ඒ වෙනකොටත් කුරුබිලියෙ බෑවුම් ප්‍රදේශ බොහොම පරිස්සමින් පරීක්ෂා කරලයි තිබ්බෙ.

හේතුව මොක උනත් හානියට පත්උන ජාලයේ කොටස් මාරු කරන්න සිද්ධ වෙනව. මගේ ටොන් විස්සෙ ‘පොකිරිස්සා’ ඒක වැඩට ගන්නෙ නැති වෙලාවට තියල තියන ස්පෙට්සියාවෙ තටාකාංගනයෙ ඉඳල මෙහාට ගුවන් මගින් ගේනකං ඒ වැඩේ කරන්න විදිහක් නැහැ.

“ඉතින්, ඒකට කොච්චර කාලයක් යයිද?” මම මගේ දෘශ්‍ය පිරික්සුම අවසාන කරල තිරය මත තිබ්බ කනගාටුදායක දර්ශණය ඡායාරූපගත කරාට පස්සෙ ෂපිරෝ ඇහුව.

මම එකපාරටම උත්තරයක් දෙන්න කැමති උනේ නැහැ. මුහුද යට කරන වැඩ වලදි මං ඉගෙන ගත්ත මුල්ම දේ තමයි, මොනම වැඩක්වත් තමන් හිතාගෙන ඉන්න විදිහට කරන්න බැහැ කියන එක. තමන් ගනුදෙනු කරන්නෙ මොන වගේ දෙයක් එක්කද කියල තමන්ට හරියටම තේරුම් යන්නෙ වැඩේ බාගයක් විතර කරගෙන යද්දි. ඉතින් යන වියදම සහ කාලය ගැන හරියටම ඇස්තමේන්තු කරල කියන්න බැහැ.

මගේ පුද්ගලික අදහස උනේ මේකට දවස් තුනක් යයි කියල. ඒ නිසා “හැමදේම හොඳින් සිද්ද උනොත් සතියකට වඩා යන එකක් නෑ” කියල මම කිව්ව.

“ඊට වැඩිය ඉක්මනට කරන්න බැරිද?” ෂපිරෝ කෙඳිරි ගෑව.

“මම දුර දිග බලන්නෙ නැතුව තදියමේ වැඩ කරල අමාරුවෙ වැටෙන්න යන්නෙ නෑ. කොහොම උනත් ඒකෙන් ඔයාට ඉතිරි වැඩ ටික ඉවර කරන්න සති දෙකක් ලැබෙනව.”

ආයෙත් වරායට එනකන්ම කංකෙඳිරි ගෑව උනත්, ඒ උත්තරෙන් සෑහීමට පත්වෙන්න ඔහුට සිද්ධ උනා. අපි වරායට ලඟා උනාට පස්සෙ ඔහුට කල්පනා කරන්න වෙන දෙයක් හම්බඋනා.

“සුබ උදෑසනක් ජෝ ...” ජැටියට වෙලා අපි එනකං ඉවසිල්ලෙන් මගබලාගෙන හිටිය පුද්ගලයට මම කිව්ව. “... අපි පිටත් වෙලා යද්දි දැක්කෙ ඔයා වෙන්න ඕනි කියල මං හිතුව. මොකද මෙහෙ කරන්නෙ?”

“මමත් ඔයාගෙන් අහන්න හිටියෙ ඒ ප්‍රශ්ණෙමයි.”

“ඔයා මගේ ලොක්කත් එක්ක කතා කරන එක වැඩිය හොඳයි. ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ, මේ තමයි ජෝ වොට්කින්ස්, ටයිම්ස් පත්තරේ විද්‍යා වාර්තාකරු.”

ලෙව් ගෙ ප්‍රතිචාරය එච්චරටම සුහදශීලී උනේ නැහැ. සාමාන්‍යෙයන්, සතියකට එක්කෙනා ගානෙ විතර එන පත්තර වාර්තාකාරයොත් එක්ක කතා කරනවට වඩා ඔහු කැමති දෙයක් තවත් ඇත්තෙ නැහැ. දැන් විවෘත කරන දවස කිට්ටු නිසා හැම දිහාකින්ම වාර්තාකාරයො එන්න පටන් ගනියි. රුසියාවෙන් පවා. ඒත් ඇතිවෙලා තියන තත්වය අනුව ‘ටාස්’ එකට උනත් ටයිම්ස් පත්තරේට තරන්ම මෙහෙ දොරවල් වැහිලයි තියෙන්නෙ.

කාර්පකින් තත්වය පාලනය කරපු හැටි ඇත්තෙන්ම විනෝදජනකයි. ඔහු ඒ මොහොතෙ ඉඳන් මාර්ගෝපදේශනයට, දාර්ශනික මතවාද සාකච්ඡාවට වගේම අඩියක් ගහන්න සහයෝගයටත් එක්ක සර්ගෙයි මාර්කොව් කියල ප්‍රසන්න, තරුණ මහජන සම්බන්ධතා නිලධාරියෙක් ජෝ ට ඈඳල තිබ්බ. කොච්චර උත්සාහ කරත් ජෝ ට ඔහුව හලල දාන්න බැරි උනා. ෂපිරෝගෙ කාර්යාලයේ තිබුණ දිග සාකච්ඡාවකට පස්සෙ විඩාපත් වෙලා හිටිය මම, පස්වරුවෙ මැදදි, කල් පහුවෙච්ච දවල් කෑමකට රජයේ තානායමේදි ඔවුන්ව මුණ ගැහුණා.

“මෙහෙ මොනාද වෙන්නෙ ක්ලවුස්? ...” සානුකම්පිත විදිහට ජෝ ඇහුව. “... මොකක් හරි අවුලක් තියනව කියල මට දැනෙනව. ඒත් කවුරුත් මොනාවත් පිළිගන්නෙ නෑනෙ.”

මම කරියක් එක්ක ඔට්ටු වෙමිනුයි හිටියෙ. කෑමට ගන්න පරෙස්සම් කොටස් වලින්, කෑවම කන් වලින් දුං විසික් වෙන කොටස් ටික වෙන් කර ගන්න උත්සාහ කරන ගමන් මං උත්තර දුන්න.

“සේවාලාභියෙක් එක්ක තියන ගනුදෙනු මං ඔයත් එක්ක කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න ඔයාට බැහැ.”

“ජිබ්‍රෝල්ටා වේල්ලෙට ඕනි කරන සමීක්ෂණ කරද්දි ඔයා ඇති තරම් කතා කරා.” ජෝ මට මතක් කරල දුන්න.

“ඔව් ...” මං පිළිගත්ත. “... ඒ වගේම ඔයා ඒ ගැන ලියපු ලිපියට මං ස්තූතිවන්ත වෙනව. ඒත් මේ පාර ව්‍යාපාරික රහස් වගයක් තියනව. මේ - මේ - මං පද්ධතියෙ කාර්යක්ෂමතාව වැඩි කරන්න අන්තිම මොහොතෙ කරන සීරු මාරු කිරීම් වගයක් කරනව.”

ඒක බොරුවක් නෙවෙයි. මං ඇත්තටම උත්සාහ කරමින් හිටියෙ දැනට බිංදුවේ තියන පද්ධතියෙ කාර්යක්ෂමතාවය ඊට වඩා වැඩි කරන්න.

“හ්ම්... බොහොම ස්තූතියි.” ජෝ ඇනුම්පදයක් කිව්ව.

“ඒක නෙවෙයි, ඔයාගෙ අර පිස්සු සිද්ධාන්ත වලින් අලුත්ම එක මොකක්ද?” කතාව වෙන අතකට හරෝගන්න හිතාගෙන මම ඇහැව්ව.

අති දක්ෂ විද්‍යා ලේඛකයෙක් උනත් ජෝ ට අරුම පුදුම සහ ඇදහිය නොහැකි දේවල් ගැන හොයන්න අමුතු ආසාවක් තියනව. සමහර විට ඒක එදිනෙදා වැඩ වලින් පොඩි විවේකයක් ගන්න ඔහු කරන දෙයක් වෙන්න ඇති. මං දන්න විදිහට ඔහු විද්‍යා ප්‍රබන්ධත් ලියනව. හැබැයි ඒක ඔහු ඔහුගෙ සේවායෝජකයන්ගෙන් බොහොම පරිස්සමට හංගගෙන ඉන්න රහසක්. අවතාර ගැන, අතීන්ද්‍රිය සංජානනය ගැන වගේම පියාඹන පීරිසි ගැනත් අත්හැරගන්න බැරි කැමැත්තක් ඔහුට තියනව. ඒත් ඔහුගෙ නියමම විශේෂඥතාව තියෙන්නෙ අතුරුදහන් උන මහාද්වීප ගැන.

“මං අදහස් දෙක තුනක් ගැන හොයා බල බලයි ඉන්නෙ ...” ඔහු පිළිගත්තා. “... ඒ ඔක්කොම මතු උනේ මම මේ කතාව ගැන විස්තර හොයද්දි.”

“කියාගෙන යන්නකො.” මම කරමින් හිටිය කරිය අධ්‍යයනය කිරීමේ මෙහෙයුමෙන් ඔළුව උස්සන්න මහන්සි නොගෙනම කිව්ව.

“ටික දවසකට කලින් මට ගොඩක් පරණ ලංකා සිතියමක් හම්බඋනා. ඒක ටොලමි ඇඳපු එකක්. ඒක දැක්කම මට මගේ එකතුවෙ තිබ්බ තවත් සිතියමක් ගැන කල්පනා උනා. මම ඒ සිතියමත් අරගෙන බැලුව. සිතියම් දෙකේම තිබ්බෙ එකම මධ්‍යම කඳුකරේ, එකම විදිහෙ ගංගා. ඒත් මේ අනිත් සිතියම ඇට්ලන්ටිස් වල එකක්.”

“හපොයි! ...” මම කිව්ව. “... අන්තිම වතාවට අපි මුණගැහිච්ච වෙලාවෙ ඔයා සහතික කරලම කිව්ව නේද ඇට්ලන්ටිස් තිබ්බෙ බටහිර මධ්‍යධරණී ද්‍රෝණියෙ කියල.”

ජෝ ඔහුගෙ සිත්ගන්නාසුළු හිනාව දැම්ම.

“මට වරදින්න පුළුවං, නැද්ද? ඒ කොහොම උනත් මං ගාව ඊටත් වඩා සිත් ඇදගන්නාසුළු සාක්කියක් තියනව. ලංකාවට පැරණි කාලෙ ඉඳන්ම කියන නම ගැන ඔයාට මොකද හිතෙන්නෙ.”

මම ටික වෙලාවක් කල්පනා කරා. “දෙයියනේ!, 'ලං'-කා, ඇට්-'ලං'-ටිස්.” මම නම් දෙක එහාට මෙහාට පෙරළල ඒ දෙකේ තියෙන සමානතාවය දිහා බැළුව.

“හරියටම හරි, ...” ජෝ කිව්ව. “... ඒත්, කොච්චර සිත් ඇදගන්නාසුළු උනත් හෝඩුවාවල් දෙකකින් අංග සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න බෑ. ඉතින්, දැනට මං ගාව ඔයිට වැඩිය දෙයක් ඇත්තෙ නැහැ.”

“අපරාදෙ, ...” ඇත්තටම බලාපොරොත්තු කඩවිච්ච මං කිව්ව “... එතකොට ඔයගෙ අනෙත් ව්‍යාපෘතිය?”

“මේකටනං ඇත්තටම ඔයා කැමති වෙයි.” ජෝ ආඩම්බරකාර හඬකින් කිව්ව.

හැම තැනම අරගෙන යන ඔහුගෙ පරණ බ්‍රීෆ්කේසයට අතපොවපු ඔහු ඒකෙන් පත්තර මිටියක් එළියට ඇදල ගත්ත.

“මෙහාට හැතැක්ම එකසිය අසූවක් විතර එහායින් මේක සිද්ද වෙලා තියෙන්නෙ දැනට අවුරුදු සීයකට විතර උඩදි. පේනවනෙ, මට තොරතුරු ලැබුණ මූලාශ්‍රය දැනට තියන ඒවගෙන් හොඳම එකක්.”

ඔහු මගේ අතට ඡායා පිටපතක් දුන්නා. ඒක 1874 ජූලි හතරවෙනිද ලන්ඩන් ටයිම්ස් පත්තරේ පිටුවක්. ජෝ හැමතිස්සෙම වගේ පුරාණ පත්තර වල කෑලි දික් කරන නිසා මං ඒක කියවන්න ගත්තෙ එච්චර උනන්දුවකින් නෙවෙයි. කොහොම උනත් මගේ උදාසීන ගතිය එච්චර වෙලාවක් තිබ්බෙ නෑ.

මම සම්පූර්ණ විස්තරේම කියන්න උනත් කැමතියි. ඒත් ඔබට වැඩිදුර විස්තර උවමනානම් තත්පර දහයක් ඇතුලත ප්‍රාදේශීය පුස්තකාලයකින් අවශ්‍ය කරන පිටපත් ලබා දෙයි. කෙටියෙන් කියනවනම්, ඒකෙ විස්තර කරල තිබ්බෙ 1874 මැයි මාසෙ මුල ලංකාවෙන් පිටත් උන ‘පර්ල්’ කියන ටොන් එකසිය පනහෙ කුඹ දෙකේ රුවල් නැව බෙංගාල බොක්කෙදි අනතුරට පත් උනේ කොහොමද කියලයි.

මැයි දහ වෙනිද අඳුර වැටෙන්න ටික වෙලාවකට කලින් නැවට හැතැක්ම බාගයක් විතර දුරින් අති විශාල දැල්ලෙක් මුහුදෙන් මතු වෙලා තියනව. නැවේ කපිතාන් තැන මෝඩය වගේ තමන්ගෙ රයිෆලයෙන් ඌට වෙඩි තියල.

කෙලින්ම ‘පර්ල්’ දිහාවට පීනගෙන ආපු දැල්ලා උගේ අඬු කුඹගස් වල පටලෝල නැව පැත්තට පෙරළල තියනව. තත්පර ගානක් ඇතුලත නැව ගිලිල ගිහින් තියෙන්නෙ නාවිකයො දෙදෙනෙකුටත් මරුකැඳවමිනුයි. වාසනාවකට වගේ මේ සිද්ධිය දැක්ක, ඒ කිට්ටුවෙන් ගිය ‘ස්ට්‍රැත්හෝවන්’ කියන පෙනින්සියුලර් සහ ඔර්යන්ටල් දුම් නැව් සමාගමට අයත් දුම් නැවෙන් අනිත් අයව බේරගෙන තියනව.

“ඉතිං, මොකද හිතෙන්නෙ?”

මම ඒක දෙවෙනි පාරටත් කියෙව්වට පස්සෙ ජෝ ඇහැව්ව.

“මුහුදු රාක්ෂයො ගැන මං විශ්වාස කරන්නෙ නෑ.”

“ලන්ඩන් ටයිම්ස් කියන්නෙ ප්‍රවෘත්ති මවල පළකරන පත්තරයක් නෙවෙයි. ...” ජෝ උත්තර දුන්න. “... ඒ වගේම යෝධ දැල්ලො ඉන්නව. අපි දැනට දන්න ලොකුම දැල්ලොන්ට අඩි හතලිහක් විතර දිග අඬු තිබ්බ උනත් උන් ටොන් එකක්වත් බර නැති සියුමැලි වගේම දුර්වල සත්තු.”

“ඉතින්, ඒ වගේ සතෙක්ට ටොන් එකසිය පනහෙ නැවක් පෙරළන්න බෑනෙ?”

“ඇත්ත, ඒත් අපි දැං ඔය යෝධ දැල්ල කියල කියන්නෙ නිකංම නිකං ලොකු දැල්ලෙක්ට කියල කියන්න සාක්ෂි තියනව. ඇත්තෙන්ම අති විශාල දශ පාදිකයො සමහර විට මුහුදෙ ඉන්න පුළුවං. දැං බලන්න, මේ ‘පර්ල්’ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සෙ, යෝධ තල්මහෙක් ඌව වෙලාගෙන හිටිය සහ අන්තිමේදි ඌව මුහුදු පතුලට ඇදගෙන ගිය අති විශාල දරණෙකින් බේරෙන්න දඟලනව බ්‍රසීලයට කිට්ටු මුහුදෙදි දකින්න ලැබිල තියනව. 1875 නොවැම්බර් විසි වෙනිද චිත්‍ර සහිත ලන්ඩන් නිව්ස් පත්තරේ ඒ සිද්ධිය වාර්තා කරල තියනව. ඊලඟට ‘මොබි-ඩික්’ පොතේ අර පරිච්ඡේදය තියනව...”

“මොන පරිච්ඡේදයද?”

“ඇයි අර ‘දැල්ලා’ කියන පරිච්ඡේදය. මෙල්විල් කියන්නෙ හොඳ නිරීක්ෂකයෙක් කියල අපි දන්නව. ඒත් මෙතනදි ඔහු අපිට විකාරයක් වගේ හැඟෙන දෙයක් කියනව. ඔහු, - (‘මේ දැන් කන්දකින් කඩාහැලුණු ලොකු හිම කුට්ටියක් මෙන්’) - සුදු පාට අති විශාල යමක් මුහුදෙන් මතුවුන සන්සුන් දවසක් ගැන විස්තර කරනව. මේක සිද්ධ උනෙත් ඉන්දියන් සාගරේමයි. සමහරවිට ‘පර්ල්’ සිද්ධිය උන තැනට හැතැක්ම දාහක් විතර දකුණින් වෙන්න ඕනි. හොඳට මතක තියා ගන්න, කාලගුණ තත්වය එහෙමත් කලින් සිද්ධිය උන වෙලාවෙදි වගේමයි.

“මට මේ ජේදෙ කට පාඩං. මං ඒක එච්චරටම හොඳ සැලකිල්ලෙන් කියවල තියනව.”

“අති විශාල, ලොඳ වැනි යමක් ජලයේ පාවෙන අයුරු ‘පීකොඩ්’ හි නැවියන් දුටුහ. දිගින් සහ පළලින් පර්ලෝම ගණනාවක් වූ එය දිලිසෙන ක්‍රීම් පැහැයකින් යුතු විය. ඇනකොන්ඩාවන් සමූහයක් සිහි ගන්වන ආකාරයේ ඇඹරෙන සහ දඟර ගැසෙන අඬු ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් එහි මධ්‍යයේ සිට පිටතට විහිදී තිබුණි.”

“පොඩ්ඩක් ඉන්න, ...” මේ හැමදේම හොඳ අවධානයෙන් අහගෙන හිටිය සර්ගෙයි කිව්ව. “... පර්ලෝමයක් කියන්නෙ මොකටද?”

ඒ ප්‍රශ්ණෙ නිසා ටිකක් විතර අපහසුවට පත්උන ගතියක් ජෝ ගෙන් පේන්න තිබ්බ.

“හරියටම කිව්වොතින්, ඒක හැතැක්මකින් අටෙන් පංගුවක්, අඩි හයසිය හැටක් ...”

අපේ අවිශ්වාසය පළ කරන හිනාව නවත්ත ගන්න කියල ඔහු එක අතක් උස්සල සන් කරා.

“... මෙල්විල් ඒක ඒ විදිහටම අදහස් කරන්න නැතුව ඇති කියල මට විශ්වාසයි. ඒත් මෙන්න, යෝධ තල්මස්සු හැමදාම දකින මනුස්සයෙක් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ගැන පැහැදිලි කරන්න වෙනත් දිග මනින ඒකකයක් හොයනව. ඉතින් ඔහු ඉබේම බඹ වලින් පර්ලෝම වලට මාරු වෙනව. කොහොම උනත්, ඒක තමයි මගේ සිද්ධාන්තය.”

ඉතුරු වෙලා තිබ්බ කරියෙ අතගහන්න බැරි හරිය මම පැත්තකට කරා.

“මගේ රස්සාව එපා වෙන තරමට මාව බය කරා කියල ඔයා හිතනවනං, ඔයාට හොඳටම වැරදිල ...” මම කිව්ව. “... ඒත් මං ඔයාට මේක පොරොන්දු වෙන්නං. මට යෝධ දැල්ලෙක් මුණගැහුනම, සිහිවටනයක් හැටියට මං උගේ ග්‍රාහිකාවක් කපාගෙන එනව.”



මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

___
පින්තූරය
http://29.media.tumblr.com/tumblr_l14s0awuM81qzf4g3o1_500.jpg

Thursday, 19 March 2015

බබලන්නෝ - 2 කොටස


පැය දෙකකට පස්සෙ මං හිටියෙ ඇල්ප්ස් කඳුකරේට උඩින් පියාසර කරමින්. මගේ පවුලේ අයට රේඩියෝ මගින් සමුගැනීමේ පණිවිඩයක් යවන ගමන් මං කල්පනා කරේ, විචාර බුද්ධිය තියන අනිත් ස්විස් ජාතිකයො වගේ මාත් බැංකුකරුවෙක් උනේ නැත්තෙ හරි, අත් ඔරලෝසු ව්‍යාපාරයට සම්බන්ධ උනේ නැත්තෙ හරි ඇයි කියලයි. ඒක තනිකරම පිකාඩ් සහ හෑන්ස් කෙලර් ගෙ වැරැද්ද. මං මටම තරහින් කියා ගත්ත. ලෝකෙ මෙච්චර රටවල් තියෙද්දි ඒගොල්ලන්ට ස්විට්සර්ලන්තෙම මේ ගැඹුරු මුහුදත් එක්ක ඔට්ටුවෙන සම්ප්‍රදාය පටන්ගන්න ඕනි උනේ ඇයි? පණිවිඩේ යවල ඉවර වෙලා මම ටිකක් නිදා ගන්න හරි බරි ගැහුණ. ඉස්සරහට එන දවස් වලදි ඇති තරං නින්දක් ලබා ගන්න වෙන එකක් නැහැයි කියල මං දැනං හිටිය.

පාන්දර පහු උන ගමන්ම වගේ අපි ත්‍රිකුණාමලේට ගොඩබැස්සා. භූගෝලීය පිහිටීම මට කවදාවත් හරියටම ප්‍රගුණ කරගන්න බැරි උන, තුඩු, දූපත්, එකිනෙකට සම්බන්ධ ජල මාර්ග සහ ලෝකෙ තියෙන සියළුම නාවික හමුදාවන් රඳවල තියා ගන්න පුළුවන් තරමේ විශාල ගංගාධරයන්ගෙන් සමන්විත අති විශාල වගේම සංකීර්ණ වරාය මට පෙනුණෙ එකම අවුල් ජාලාවක් වගේ. සුදු පාට ලොකු පාලන ගොඩනැගිල්ල තරමක් විචිත්‍ර ගෘහ නිර්මාණ ශෛලියකට අනුව, ඉන්දියන් සාගරයට පිටුපාන ආකරයට, තුඩුවක ගොඩනංවල තියනව දැක ගන්න පුළුවන් උනා.

වැඩ බිම සම්පූර්ණයෙන්ම වගේ ලොකු ප්‍රචාරණ ගුණ්ඩුවක්. ඒත් මං රුසියානුවෙක් උනානං මං ඒකට කියනව ඇත්තෙ ‘මහජන සබඳතා වැඩිදියුණු කරගැනීම’ කියල.

මං මගේ ගනුදෙනුකරුවන්ට දොස් කියනව එහෙම නෙවෙයි. ඒ අයට මේ ව්‍යාපෘතිය ගැන ආඩම්බර වෙන්න ලොකු හේතුවක් තිබ්බ. සාගරයේ එක්රැස් වෙලා තියන තාප ශක්තිය ප්‍රයෝජනයට ගන්න දැනට දරල තියෙන දැවැන්තම වගේම ගොඩක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්න උත්සාහය තමයි මේ. හැබැයි මේක මේ වගේ දෙයක් කරන්න හදපු පළවෙනි වතාව නෙවෙයි. එක්දහස් නවසිය තිස් ගණන් වල ප්‍රංශ විද්‍යාඥයෙක් වෙච්ච ජෝර්ජේ ක්ලෝඩ් මේ දේට අසාර්ථක උත්සාහයක් දරල තියනව. එක්දාස් නවසිය පනස් ගණන් වල අප්‍රිකාවෙ බටහිර වෙරළෙ අබිජාන් වල ඊට වඩා ලොකුවට කරපු ව්‍යාපෘතියත් අසාර්ථක උනා.

මේ හැම ව්‍යාපෘතියක්ම ප්‍රයෝජනයට ගත්තෙ එකම පුදුමාකාර සංසිද්ධියක්. නිවර්තන කලාපෙදි උනත් හැතැක්මක් ගැඹුරෙදි මුහුදෙ තියෙන්නෙ අයිස් මිදෙන උෂ්ණත්වයට කිට්ටු උෂ්ණත්වයක්. ජලය ටොන් බිලියන ගානක් සැලකිල්ලට ගත්තම මේ උෂ්ණත්ව වෙනස අති විශාල ශක්ති ප්‍රමාණයක් සහ බලශක්ති අර්බුදයෙන් පීඩා විඳින රටවල් වල ඉංජිනේරුවන්ට ඉස්තරම් අභියෝගයක් සපයනව.

ක්ලෝඩ් සහ ඔහුගෙ අනුප්‍රාප්තිකයන් මේ ශක්තිය ලබා ගන්න උත්සහ කරේ අඩු පීඩන වාෂ්ප එන්ජින් පාවිච්චි කරල. රුසියානුවො මේකට පාවිච්චි කරල තිබ්බෙ ඊට වඩා සරළ සහ ඍජු ක්‍රමවේදයක්.

එක අග්‍රයක් රත් කරල අනෙත් අග්‍රරය සිසිල් කරොත් ගොඩක් ද්‍රව්‍ය තුලින් විදුලි දහරාවන් ගලා යනවයි කියන කාරණාව අපි අවුරුදු සීයකටත් වඩා වැඩි කාලයක් තිස්සෙ දැනගෙන හිටිය දෙයක්. එක්දාස් නවසිය හතලිස් ගණන් වල ඉඳල රුසියානු විද්‍යාඥයො මේ ‘තාප විද්‍යුත් ආචරණය’ ප්‍රායෝගික භාවිතයකට යොදාගන්න වැඩ කටයුතු කරමින් හිටිය. ඒ අයගෙ මුල්ම උපකරණ එච්චර කාර්යක්ෂම ඒව උනේ නැතත්, භූමිතෙල් ලාම්පු වල උණුසුමින් ගුවන් විදුලි යන්ත්‍ර දහස් ගානකට බලය සපයන්න තරම් හොඳ තත්වෙක තිබුණ. ඒත් 1974 දි, ඒ අය තවමත් රහසක් විදිහට තියාගෙන ඉන්න විශාල සොයා ගැනීමක් කරා. පද්ධතියෙ සිසිල් පැත්තෙ තාප විද්‍යුත් උපකරණ සවි කරේ මම. ඒ උනත් මං ඇත්තටම ඒව මොන වගේද කියල දැක්කෙ නැහැ. ඒව තිබ්බෙ මළ බැඳීම වලක්වන්න ගාපු තීන්ත වලින් වැහිල. මම දන්නෙ අන්තිමේදි ඒවගෙන් ලොකු දැලක් හැදුන කියල විතරයි. හරියට පරණ වාෂ්ප රේඩියේටර් ගොඩක් එකට පුරුද්දව්ව වගේ.

ත්‍රිකුණාමලය ගුවන් පථයෙ මං එනකං බලාගෙන හිටිය පොඩි කණ්ඩායමේ වැඩි හරියක් තිබ්බෙ මං අඳුනන මූණු. සතුරු වේවා, මිතුරු වේවා ඒ අය හැමෝම මාව දකින්න කැමැත්තෙන් හිටිය බව පේන්න තිබ්බ. විශේෂයෙන්ම ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ.

“ඉතින් ලෙව්, මොකක්ද ප්‍රශ්ණෙ?” අපි ස්ටේෂන් වැගන් රථයට නැගල පිටත් වෙන වෙලාවෙ මං ඇහැව්ව.

“අපි දන්නෙ නැහැ ...” ඔහු ඇත්තම කිව්ව. “... ප්‍රශ්ණෙ මොකක්ද කියල හොයාගෙන ඒක හරිගස්සන එක තමයි ඔයාගෙ වැඩේ.”

“ඉතින් මොකක්ද උනේ?”

“පූරණ බල පරීක්ෂා වලට එනකං හැමදේම නියමාකාරයෙන් සිද්ධ උනා. අඟහරුවාද පාන්දර 0134 වෙද්දිත් ප්‍රතිදානයෙ තිබ්බෙ ඇස්තමේන්තු කරපු ප්‍රමාණයෙන් සියයට පහක වෙනසක් ...” ඔහු එහෙම කිව්වෙ මූණ ඇඹුල් කරගෙන. අනිවාර්යයයෙන්ම ඒ වෙලාව ඔහුගෙ හිතේ තදින්ම කාවැදිල ඇති. “... ඊලඟට වෝල්ටීයතාව බොහොම දරුණු විදිහට විචලනය වෙන්න පටන් ගත්ත. ඉතින් අපි විද්‍යුත් භාරය කපා හැරල මාපාංකයන් සෝදිසි කරල බැලුව. මං හිතව්වෙ කවුරු හරි බූරු නැව් කපිතාන් කෙනෙක් කේබල් වල නැංගූරම පටලෝගෙන ඇති කියල. ඔයා දන්නවනෙ, ඒක එහෙම වෙන එක වලක්ව ගන්න අපි කොච්චර කරදර වින්දද කියල. ඉතින් අපි සර්ච් ලයිට් පත්තු කරල මුහුද සෝදිසි කරල බැලුව. පේන තෙක්මානෙක නැවක් තිබුන්නෑ. ඇරත්, පැහැදිලි අහසක් තියන සන්සුන් රෑක වරායෙන් පිට නැංගූරම් දාන්න හදන්නෙ කවුද?

උපකරණ දිහා බලාගෙන දිගටම අත්හදාබැලීම් කරනව ඇරෙන්න අපිට කරන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ. අපි කාර්යාලයට ගියාම මං ඔක්කොම ප්‍රස්තාර ටික පෙන්නන්නං. විනාඩි හතරකට පස්සෙ හැමදේම විසන්ධි වෙලා ගියා. බිඳවැටීම උනේ කොතනද කියල හරියටම කියන්න අපිට පුළුවන්. ඒක වෙලා තියෙන්නෙ ගැඹුරුම කොටසෙ, ජාලෙ තියන හරියෙමයි... ඒක අනිවාර්යයෙන්ම වෙලා තියෙන්නෙ ඕනි එහා කොනේ, නැතුව පද්ධතියෙ මෙහා කොනේනං නෙවෙයි.” ජනේලෙන් එළිය දිහාට ඇඟිල්ල දික් කරන ගමන් ඔහු කනස්සල්ලෙන් කිව්ව.

අපි ඒ වෙලාවෙ හිටියෙ සූර්ය පොකුණ පහුකරන ගමන්. සාම්ප්‍රදායික තාප එන්ජිමක බොයිලේරුවෙන් කෙරෙන වැඩේ මෙතනදි සිද්ධ උනේ ඒකෙ ආධාරයෙන්. මේක රුසියානුවො ඊශ්‍රායිල් ජාතිකයන්ගෙන් ණයට ගත්ත අදහසක්. සරළව කිව්වොත් ඒක සාන්ද්‍ර කරදිය ද්‍රාවණයක් පුරවපු, අඩිය කළු කරපු, නොගැඹුරු විලක්. ඒක බොහොම කාර්යක්ෂම තාප උගුලක් විදිහට ක්‍රියා කරල සූර්ය තාපයෙන් ඒකෙ තියන ද්‍රවයෙ උෂ්ණත්වය ෆැරන්හයිට් දෙසීයකට කිට්ටු වෙන්න ඉහල දානව. ඒ ද්‍රවයෙ බඹ දෙකක් ගැඹුරින් තමයි අඟලක් අඟලක් ගානෙ තාප විද්‍යුත් පද්ධතියෙ ‘උණුසම්’ ජාලයන් ගිල්වල තියෙන්නෙ. අති විශාල කේබල් ගොන්නකින් ඒව ඊට වඩා අංශක එකසිය පනහක් ශීතලෙන් යුත් මට අයිති එකකයත් එක්ක සම්බන්ධ වෙනව. ඒක තියන්නෙ අඩි තුන්දාහක් පහලින්, ත්‍රිකුණාමල වරායෙ මුවවිට කිට්ටුවටම එන මුහුද යට කුරුබිලිය පතුලෙ.

“භූමිකම්පාවක් උනාද කියල ඔයාල පරීක්ෂා කරල බලන්න ඇති කියල මං හිතනව?” මම එහෙම ඇහැව්වෙ එච්චර බලාපොරොත්තු තියාගෙන නෙවෙයි.

“ඇත්තෙන්ම අපි එහෙම කරා. භූකම්පනමානයේ මොනාවත් පෙන්නුම් කරේ නෑ.”

“එතකොට තල්මස්සු? උන්ගෙන් කරදර වෙන්න පුළුවන් කියල මං ඔයාට කලිනුත් අනතුරු අගවලයි තිබ්බෙ.”

දකුණු ඇමරිකාව කිට්ටුව මුහුදෙ හැතැක්ම බාගයක් ගැඹුරෙ තිබ්බ ටෙලිග්‍රාෆ් කම්බියක පැටලිල මැරිල හිටිය යෝධ තල්මහ ගැන දැනට අවුරුද්දකට විතර කලින්, ප්‍රධාන සන්නායක මුහුදෙ එලන කාලෙ, මං ඉංජිනේරුවන්ට කියල තිබ්බ. ඒ වගෙ සිද්ධි දුසිමක් විතර දැනට වාර්තා වෙලා තියනව. ඒත් පේන්න තිබ්බ විදිහට අපේ සිද්ධිය එහෙම එකක් නෙවෙයි.

“අපිට ඊලඟට කල්පනා උනෙත් ඒකම තමයි...” ෂපිරෝ කිව්ව. “...අපි ධීවර දෙපාර්තමේන්තුවටයි, නාවික හමුදාවටයි, ගුවන් හමුදාවටයි කතා කරල බැලුව. වෙරළට කිට්ටුව කොහේවත් තල්මස්සු හිටියෙ නෑ.”

අන්න ඒ වෙලාවෙදි තමයි මං හේතු අනුමාන කරන එක නවත්තල දැම්මෙ. මොකද කියනවනං, අනිත් අය කතාවෙනව ඇහිච්ච දෙයකින් මාව ටිකක් ගැස්සිල ගිය නිසා. අනිත් හැම ස්විස් ජාතිකයෙක්ට වගේම මටත් භාෂා තේරුම් ගැනීමේ හොඳ හැකියාවක් තියනව විතරක් නෙවෙයි, රුසියානු වචන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලගන්නත් මට පුළුවං වෙලා තියනව. ඒ කොහොම උනත් ‘සැබොටාෂ්’ කියන වචනෙ තේරුං ගන්න කෙනෙක් වාග් වේදියෙක් වෙන්නම ඕනි නෑ.

ඒක කිව්වෙ ව්‍යාපෘතියෙ දේශපාලන උපදේශක දිමිත්‍රි කාර්පකින්. මට ඔහු ගැන පැහැදීමක් තිබ්බෙ නැහැ. අනිත් ඉංජිනේරුවොත් ඔහුට කැමති උනේ නැහැ. ඒ නිසාම සමහර වෙලාවලදි ඒ අය ඔහුට සැලකුවෙ ඕනෑවටත් වඩා අවිනීත විදිහට. ස්ටාලින්ගෙ හෙවනැල්ලෙන් එහෙමපිටින්ම ගැලවෙන්න බැරි උන පරණ තාලෙ කොමියුනිස්ට් කාරයන්ගෙන් කෙනෙක් වෙච්චි ඔහු සෝවියට් සංගමයෙන් පිටත තිබ්බ හැම දෙයක් දිහාමයි, සෝවියට් සංගමේ ඇතුලෙ තිබ්බ දේවල් වලින් වැඩි හරියක් දිහායි බැලුවෙ සැකෙන්. ‘කඩාකප්පල්කාරී ක්රියයාවක්’ කියන්නෙ ඔහු ගොඩක්ම කැමති වෙන විදිහෙ පැහැදිලි කිරීමක්.

ඇත්තම කියනවනං, ත්‍රිකුණාමල විදුලි ව්‍යාපෘතිය අසාර්ථක වීම ගැන දුක් වෙන්නෙ නැති ගොඩ දෙනෙක් හිටිය. දේශපාලනමය වශයෙන් බැලුවම සෝවියට් සංගමයේ ගෞරවය මේ එක්ක බැඳිල තිබ්බ. ආර්ථිකමය වශයෙන් බැලුවම බිලියන ගානක්. මොකද, ජලතාප බලාගාර සාර්ථකයි කියල ඔප්පු උනොත් ඒවට තෙල් වලට, ගල්අඟුරු වලට, ජල විදුලියට වගේම විශේෂයෙන්ම න්‍යෂ්ටික බලයට තරඟයක් දෙන්න පුළුවන් නිසා.

ඒ උනත් මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඇති කියල මම තාමත් විශ්වාස කලේ නැහැ. අනික, මේ වෙත්දි සීතල යුද්ධෙත් ඉවරවෙලා. හැබැයි ජාලයෙන් කොටසක් නියැදියක් විදිහට කඩා ගන්න කවුරු හරි ඔලමොට්ටල විදිහට උත්සාහ කරා වෙන්න පුළුවන්. ඒත් ඒක උනත් වෙන්න පුළුවන් කියල හිතන්න බැහැ. ඒ වගේ වැඩකට අතගහන්න පුළුවන් අය හිටියෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. එයිනුත් බාගයක් දෙනා මගෙන් පඩි ගන්න උදවිය.

දිය යට ක්‍රියා කරන කැමරාව එදා හවසම ගෙනාව. රෑ එළි වෙනකං වැඩ කරල අපි කැමරා, මොනිටර වගේම සන්නිවේදන කේබල් හැතැක්මක් විතරත් යාත්‍රාවකට පටව ගත්ත. අපි වරායෙන් පිටත් වෙන වෙලාවෙ, කලින් හොඳට දැකල පුරුදු කෙනෙක් ජැටියෙ හිටගෙන ඉන්නව මං දැක්ක. ඒත් මම හිටියෙ ඒ කවුද කියල හරියටම කියන්න බැරි තරම් දුරිනුයි. අනිත් අතට ඒ වෙලාවෙ මගේ ඔළුවෙ වෙන අදහස් ටිකක් වැඩ කර කරයි තිබ්බෙ. ඔබට දැන ගන්නම ඕනිනං මම කියන්නං. මම හොඳ නැවියෙක් නෙවෙයි. මම ඇත්තටම තෘප්තිමත් මුහුද යටදි විතරයි.


මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

Sunday, 15 March 2015

බබලන්නෝ - 1 කොටස


සෝවියට් තානාපති කාර්යාලය දුරකථන මාර්ගයේ රැඳී ඉන්නවයි කියල දුරකථන හුවමාරු පොලෙන් කියපු වෙලාවෙ මගේ හිතට ආපු පළවෙනි අදහස උනේ:

“හොඳයි - තවත් වැඩක්!”

ඒත් ගන්චරොෆ් ගෙ කටහඬ ඇහෙද්දිම, මොකක් නමුත් අවුලක් වෙලා තියනවයි කියල මට තේරුම් ගියා.

“ක්ලවුස්? මේ මිකායිල්. මේ දැන්මම මෙහාට එන්න පුළුවන්ද? මේක ගොඩක් හදිස්සියි, ඒ වගේම මට මේ ගැන දුරකථනයෙන් කියන්න බැහැ.”

අපේ පැත්තෙන් මොකක් හරි වැරැද්දක් වෙලා නං, කියන්න ඕනි කරන කරුණු කාරණා හිතින් පෙළගස්සමින් ගිය මම, තානාපති කාර්යාලයට යනකම්ම හිටියෙ හිතේ කරදරෙන්. ඒත් මට එහෙම වෙන්න පුළුවන් මොනම වැරැද්දක්වත් හිතාගන්න බැරි උනා. ඉවර කරපු නැති රුසියානුවන්ගෙ කොන්තරාත්තු මොනාවත් මේ වෙනකොට අපිට තිබ්බෙ නැහැ. අන්තිම වැඩේ අපි සම්පූර්ණ කරේ දැනට මාස හයකට උඩදි. ඒක හරි වෙලාවට බාර දුන්න විතරක් නෙවෙයි ඒ අය සම්පූර්ණයෙන්ම ඒ ගැන සෑහීමටත් පත්උනා.

හැබැයි මට ඉක්මනටම දැනගන්න ලැබුණ විදිහට, ඒ අය වැඩේ ගැන දැන් සෑහීමකට පත් වෙන්නෙ නෑ.

වෙළඳ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී මිකායිල් ගන්චරොෆ් මගේ පරණ මිත්‍රයෙක්. ඔහු මේ ගැන දන්න හැම දේම මට කිව්ව. ඒත් එහෙමටයි කියල ලොකු විස්තරයක් ඔහු දැනගෙන හිටියෙ නැහැ.

“අපිට මේ දැන් ලංකාවෙන් හදිසි කේබල් පණිවිඩයක් ලැබුණ. ඒ ගොල්ලන්ට ඉක්මනටම ඔයාව එතනට ගෙන්න ගන්න ඕනි වෙලා. ජලතාප ව්‍යාපෘතියේ ලොකු ප්‍රශ්ණයක්.”

“මොන විදිහෙ ප්‍රශ්ණයක්ද?” මම ඇහුව. ප්‍රශ්ණෙ වෙලා තියෙන්නෙ ගැඹුරු පැත්තෙ වෙන්න ඕනි කියල ඒ වෙනකොටත් මට හිතිලයි තිබ්බෙ. මොකද කියනවනං ව්‍යාපෘතියෙ අපිට අදාල උන එකම කොටස ඒක නිසා. ගොඩබිම වැඩ කටයුතු හැම එකක්ම කලේ රුසියානුවො. ඒත්, ඉන්දියන් සාගරයේ අඩි තුන්දාහක් ගැඹුරින් අර ජාලය සවි කරද්දි අපේ උදව් ලබා ගන්න ඒගොල්ලන්ට සිද්ධ උනා. මේ වගේ වැඩ වලදි අපේ ආදර්ශ පාඨය කිට්ටුවටවත් එන්න පුළුවන් වෙනත් සමාගමක් ලෝකෙ ඇත්තෙ නැහැ.

ඕනෑම ගැඹුරක, ඕනෑම වැඩක්


“මම දන්නෙ මෙච්චරයි... සම්පූර්ණ බිඳවැටීමක් සිද්ධ වෙලා කියල එතන ඉංජිනේරුවො වාර්තා කරනව...; තව සති තුනකින් ලංකාවෙ අගමැති තුමා බලාගාරෙ විවෘත කරන්න ඉන්නෙ...; ඒ වෙන කොට ඒක වැඩ කරේ නැත්නං මොස්කව් වල අයගෙ හිත් ගොඩක්ම, ගොඩාක්ම නරක් වෙයි...” ගන්චරොෆ් කිව්ව.

අපේ කොන්තරාත්තුවෙ දඬුවම් වගන්ති ටික මං ඉක්මනින් මතක් කරල බැලුව. සේවාලාභියා නැවත බාර ගැනීමේ සහතිකය අත්සන් කරල, වැඩේ හරි විදිහට කරල තියනවයි කියල පිළිඅරගෙන තිබුණ නිසා, පේන විදිහට අපේ සමාගමට ප්‍රශ්ණයක් නැහැ. කොහොම උනත් ඒක ඒ තරං සරළ දෙයක් නෙවෙයි. නොසලකා හැරීම සිද්ධ උනේ අපේ පැත්තෙන් කියල ඔප්පු උනා උනත් නීතිමය වශයෙන් අපි ඉන්නෙ ආරක්ෂාකාරී තැනක. ඒත් ඒක අපේ ව්‍යාපාරයට නරක විදිහට බලපානව. ‘ට්‍රින්කෝ ඩීප්’ ව්‍යාපෘතියෙ ව්‍යාපෘති අධීක්ෂක වෙලා හිටියෙ මම නිසා, ඒක පුද්ගලිකව මට ඊටත් වඩා නරක විදිහට බලපානව.

කරුණාකරල මට ‘කිමිදුම් කාරයෙක්’ කියල කියන්න එපා. ඒ නමට මං කැමති නැහැ. මම සාගර ඉංජිනේරුවෙක්. ගුවන් නැවියෙක් පැරෂුටයක් පාවිච්චි කරන තරමටම මමත් කිමිදුම් උපකරණ පාවිච්චි කරනව. මගේ වැඩ වලින් වැඩි හරියක් කරන්නෙ රූපවාහිනී තිර සහ දුරස්ථ පාලක රොබෝ යන්ත්‍ර පාවිච්චි කරල. මට කිමිදෙන්න සිද්ධ උනාම මම ඒකට බාහිර හැසිරවීම් උපකරණ තියන කුඩා සබ්මැරීනයක් පාවිච්චි කරනව. ඒකෙ පිටතින් තියන අඬු-බඬු නිසා අපි ඒකට කියන්නෙ ‘පොකිරිස්සා’ කියල. ඒකෙ සම්මත මාදිලියට අඩි පන්දාහක් ගැඹුරට කිමිදෙන්න පුළුවන්. ඊට අමතරව මරියානා ආගාධය පතුලෙ වැඩ කරන්න පුළුවන් විශේෂ මාදිලිත් තියනව. මම පුද්ගලිකව එතනට ගිහින් නැහැ. ඒත් එතනට යන්න ඔබට උනන්දුවක් තියනවනං මං බොහොම කැමැත්තෙන් ඒකට යන වියහියදම් සහ අදාල වෙන කොන්දේසි ගැන කියල දෙන්නම්. දළ ඇස්තමේන්තුවක් ගත්තොතින්, පහලට යන හැම අඩියකටම ඩොලර් එකකුත් කෙරෙන වැඩේට පැයකට ඩොලර් දාහකුත් වැය කරන්න ඔබට සිද්ධ වේවි.

රුසියානුවන්ට මේ වැඩේ ගොඩක් හදිස්සියි කියල මට තේරුම් ගියේ, සූරිච් වල මං වෙනුවෙන් ජෙට් එකක් ලෑස්ති කරලයි තියෙන්නෙ, තව පැය දෙකක් ඇතුලත මට ගුවන් තොටුපොලට යන්න පුළුවන්ද? කියල මිකායිල් මගෙන් ඇහැව්වමයි.

“මේ බලන්න ...” මම කිව්ව. “... උපකරණ නැතුව මට මොකවත් කරන්න බැහැ. සෝදිසි කිරීමක් කරන්න ඕනි කරන උපකරණත් ටොන් ගානක් බරයි. ඇරත් ඒ ඔක්කොම දැන් තියෙන්නෙ ස්පෙට්සියාවෙ.”

“මං දන්නව ...” මිකායිල් රළු විදිහට උත්තර දුන්න. “... අපි එහාටත් ජෙට් එකක් යවන්නං. ඕනි කරන්නෙ මොනාද කියල තීරණය කරගත්ත ගමන්ම ලංකාවෙ ඉඳල කේබල් පණිවිඩයක් එවන්න. පැය දොළහක් ඇතුලත ඒ දේවල් වැඩ බිමට ලැබෙයි. ඒත් කරුණාකරල මේ ගැන වෙන කාටවත් කියන්න යන්න එපා. අපේ ප්‍රශ්ණ අපිටම සීමා කරල තියා ගන්න අපි කැමතියි.”

මේක මගෙත් ප්‍රශ්ණයක් නිසා මම ඒ වැඩපිළිවෙලට එකඟ උනා.

මම කාර්යාලයෙන් පිට වෙද්දි, මිකායිල් බිත්ති කැලැන්ඩරේ පෙන්නල, “තව සති තුනයි” කියල කියන ගමං ඇඟිල්ලෙන් තමන්ගෙ බෙල්ලෙ ඉරක් ඇඳල පෙන්නුව. ඔහු අදහස් කරන්නෙ ඔහුගෙ බෙල්ල ගැන නෙවෙයි කියන්න මං දැනගෙන හිටිය.



මතු සම්බන්ධයි

_______

ආතර් සී ක්ලාක් මහතා විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______

Wednesday, 10 September 2014

සටන් ව්‍යාපාරය


එම ලොව කිසිම දිනෙක සූර්යයෙක් ගැන දැන සිටියේ නැත. අවුරුදු බිලියනයකටත් වඩා වැඩි කාලයක් එය පැවතුනේ මන්දාකිණි යුගලයක් අතරමැද, ඒවායේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුරුත්වාකර්ෂණයන්හි ගොදුරක්ව, පාවෙමිනි. යම් අනාගත යුගයකදී දෙපසින් කොයි පසෙකට හෝ මෙම සමබරතාවය බිඳී යනු ඇති අතර; එය කිසි ලෙසකින්වත් අත් විඳ නැති උණුසුම කරා, ආලෝක ශතවර්ෂ ගණනාවක් හරහා පහතට වැටීමට පටන්ගනු ඇත.

එය සතුව තිබූ උණුසුම අන්තිම බිඳුව දක්වාම අන්තරීක්ෂ රාත්‍රිය විසින් ගිලගෙන ඇති බැවින් සිතා ගැනීමටවත් බැරි තරම්ම එහි ශීතල දැඩිය. එනමුදු එහි මුහුදු පැවතුණි. නිරපේක්ෂ ශුන්‍යයට අංශක දශමයක් පමණ ඉහල උෂ්ණත්වයකදී ද්‍රව තත්වයේ පැවතිය හැකි එකම මූලද්‍රව්‍යයෙන් සුසැදි මුහුදු එහි පැවතුණි.

මෙම අමුතු ලොව වසා පැවති නොගැඹුරු හීලියම් සාගරයන්හි වරක් ඇති කරන ලද විදුලි දහරාවන් හට, ශක්තිය හීන වීමකින් තොරව නොකඩවාම ගලායෑමේ හැකියාව තිබුණි. සුපිරි සන්නායකතාවය යනු මෙහි සාමාන්‍ය දෙයකි. නොගිනිය හැකි තරම් සුළු ශක්ති ප්‍රමාණයක් පරිභෝජනයෙන් පරිපාටියකින් තවත් පරිපාටියකට මාරුවීම් එක් තත්පරයට වාර බිලියන ගණන බැගින් වසර මිලියන ගණනක් පුරාවට මෙහි සිදු කල හැකිය.

එය පරිගණකයකට නම් පාරාදීසයකි. වෙන මොනම ලෝකයක්වත් ජීවයට මෙතරම් අහිතකර හෝ බුද්ධියට මෙතරම් හිතකර නොවනු ඇත.

එමෙන්ම බුද්ධිය එහි විය.

මුළු ග්‍රහලොවම වසා පැවති ස්ඵටිකයන්ගෙන් සහ ඉතා සියුම් ලෝහ කෙඳි වලින් නිර්මිත කබොල්ල වාසභවනය කරගත් බුද්ධියක් එහි පැවතුණි. සියවස් කිහිපයකට වරක් සුපර්නෝවා පිපිරුමක් නිසාවෙන් තාවකාලිකව පමණක් දෙගුණ වන දෙපසින් ඇති මන්දාකිණි දෙකෙහි දුර්වල ආලෝකය ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් නිර්මිත නිශ්චල භූමිභාගයක් ආලෝකවත් කළේය. කිසිවක් සෙලවුනේවත් නැත. මන්ද යත්, එක් අර්ධගෝලයක සිට අනෙකට ආලෝකයේ වේගයෙන් සිතිවිලි වලට ගමන් කල හැකි වූ ලෝකයක චලනය වීම අනවශ්‍ය බැවිණි. තොරතුරු පමණක් වැදගත් වන ලෝකයක තැනකින් තැනකට භෞතික පදාර්ථ ගෙන යෑම වටිනා ශක්තිය අපතේ හැරීමකි. එනමුත් අවශ්‍ය වූ විටෙක එයද සිදු කිරීමට කටයුතු සලසා ගත හැකි විය.

මෙම හුදකලා ලෝකයට වී කල්පනාවේ ගැලී සිටින බුද්ධියට වසර මිලියන ගණනාවක් පුරාවටම තමන්ට අත්‍යාවශ්‍ය වන්නා වූ දත්තයන්හි එක්තරා අඩුවක් ඇති බව දැනී තිබුණි. ඈත අනාගතයේ යම් කාලයකදී අර මන්දාකිණි යුගලයෙන් එකක් විසින් තමන්ව ඩැහැ ගනු ඇති බවට එය දැනටමත් පුරෝකථනය කර ඇත. එම තාරකා පොකුරු තුලට ඇදවැටෙද්දී තමන්ට කුමක් හමු වනු ඇත්දැයි තේරුම් ගැනීම එහි සියළු ගණනය කිරීමේ හැකියාවන්ට එහා ගිය දෙයකි.

ඉතින්, එය තම අභිමතය පෙරටු කර ගනිමින් ක්‍රියා කිරීම ආරම්භ කළේය. ස්ඵටික ජාලයන් අසීමිත සංඛ්‍යාවක් අළුතින් හැඩ ගැසෙන්නට විය. ලෝහ පරමාණු ග්‍රහ පෘෂ්ඨය හරහා ගලා ගියේය. හීලියම් සයුර අභ්‍යන්තරයෙහි සර්ව සම උප මොළයන් දෙකක් පිබිදී වැඩෙන්නට විය.

තමන්ට අවශ්‍ය කුමක්දැයි තීරණය කල පසු ග්‍රහවාසී බුද්ධිය යුහුසුළුව ක්‍රියා කලේය. සහස්‍රක කීපයකදී එම කාර්යය සම්පූර්ණ කරන ල‍දින්, කිසිඳු ශබ්දයක් නොනගා, ඝර්ෂණය රහිත මුහුද මතුපිට තරංගයක් තරම්වත් ඇති නොකර තමන් උපන් තිඹිරිගෙයි සිට ඉහල නැගුණු නව වස්තූන් ඈත තාරකා දෙසට ගමන් ඇරඹීය.

ඔවුන් නික්ම ගියේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශා දෙකකටයි. ඉන්පසු වසර මිලියනයකටත් වඩා වැඩි කාලයක් ගතවන තුරුම මව් බුද්ධියට තමන්ගේ දරුවන්ගෙන් කිසිඳු තොරතුරක් ලැබුණේ නැත. එය එවැන්නක් බලාපොරොත්තු වූයේද නැත. ඔවුන් ඔවුන්ගේ ඉලක්කයන් වෙත ලඟාවනතුරු වාර්තා කරීමට කිසිවක් නොතිබෙනු ඇත.

ඉන් පසුව එක්වරම වාගේ පැමිණියේ මෙහෙයුම් දෙකම අසාර්ථක වූ පුවතයි. අන්තරීක්ෂ අග්නි ජාලාවන් වෙත ලඟා වෙත්ම සූර්යයන් ට්‍රිලියන ගණනකින් විහිදුනු උණුසුමට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන්ගේ පරිපථ අධික ලෙස රත්වී ඒවායේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වු සුපිරි සන්නායකතාවය ගිලිහී ගොස් ගවේෂකයන් දෙදෙනා මරණයට පත් විය. විඥ්ඥානයෙන් තොර වූ ලෝහ සැකිලි දෙක පමණක් ක්‍රමයෙන් ඝණ වන තාරකා පොකුරු දෙසට පාවී යන්නට විය.

නමුත් ආපදාවට ලක්වීමට පෙර තමන්ට මුහුණ දෙන්නට සිදුවූ ගැටළු ඔවූහු වාර්තා කලහ. පුදුම වීමක් හෝ කනස්සලු වීමකින් තොරව මව් ලෝකය එහි දෙවන ප්‍රයත්නය සූදානම් කලේය.

ඉන් වසර මිලියනයකට පසු එහි තෙවැන්න... පසුව සිව් වැන්න... සහ ඉන් පසුව පස් වැන්නත්...

එවන් නොසැලෙන ඉවසීමක් සාර්ථකත්වය ලැබීය යුතුමය. අවසානයේ ශතවර්ෂ කීපයක් පුරාවට අහසේ විරුද්ධ දෙදිශාවෙන් ගලාහැලුනු, සූක්ෂමව සකසන ලද ඉතා දිගු ස්ඵන්දනයන් දෙකක් ලෙස සාර්ථකත්වය ඒ වෙත ලඟා විය. ඒවා හානි වුනු ගවේෂකයන්ගේ මතක පරිපථයන්ට සර්වසම පරිපථ වල ගබඩා කරන ලදී. ප්‍රායෝගිකව සලකා බැලූ කල, එය එක්තරා ආකාරයකට ගවේෂකයන් දෙදෙනා ඔවුන් එක්රැස් කරගත් දැනුම් සම්භාරයත් සමග නැවත පැමිණියා හා සමානය. ඒ වන විටත් ඔවුන්ගේ ලෝහ සැකිලි තාරකා අතර අතුරුදන්ව ගොස් තිබීම මෙහිදී සම්පූර්ණයෙන්ම නොවැදගත් විය. පුද්ගල අනන්‍යතාවය පිලිබඳ හැඟීමක් ග්‍රහවාසී බුද්ධියට හෝ එහි දරුවන්ට කිසි විටෙකත් තිබුණේ නැත.

පළමුවෙන්ම පැමිණියේ එක් විශ්වයක් සම්පූර්ණයෙන්ම හිස් බව කියවෙන පුදුම සහගත පුවතයි. එහි යැවුණු සෝදිසි යානය සවන් දිය හැකි සෑම සංඛ්‍යාතයකටම සහ ලබාගත හැකි සෑම විකිරණයකටම සවන් දුන් අතර, තාරකාවන්ගෙන් නික්මෙන නොවැදගත් පසුබිම් ඝෝෂාව හැරුණුකොට එයට වෙනත් කිසිවක් අනාවරණය කරගත නොහැකි විය. ඒවාට අයත් ග්‍රහලෝක පිලිබඳ සවිස්තරාත්මක සෝදිසියක් කිරීමට කිසිම තාරකාවකට අවශ්‍ය තරම් සමීප වීමට එයට නොහැකි බැවින්, සිදුකල පරීක්ෂණයන් අසම්පූර්ණ බව සැබෑය. නමුත් ග්‍රහ ලෝක දහස් ගණනක් පරීක්ෂා කිරීමෙන් පසුවත් බුද්ධිය පිළබඳ අංශුමාත්‍ර ප්‍රමාණයක හෝඩුවාවක් හෝ එහි නිරීක්ෂණයට ලක් නොවීය. තම පරිවාරක ස්ථරය බිඳවැටෙන අවස්තාව වන විට එය උත්සාහ කරමින් සිටියේ සූර්යයෙක් වෙත වඩා සමීප වීමටයි. එහි උෂ්ණත්වය නයිට්‍රජන් වල හිමාංකය දක්වා ඉහළ ගිය අතර එම උණුසුම හේතුවෙන් එය මරණයට පත් විය.

දෙවැනි ගවේෂණ යානයේ වාර්තා ලැබෙන විට මව් බුද්ධිය සිටියේ පාළුවට ගිය චක්‍රාවාටයක් පිළිබඳ ප්‍රෙහේලිකාව ගැන සලකා බලමිනි. ලැබුණු වාර්තාවන්ට අනුව මෙම දෙවැනි විශ්වය බුද්ධියෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. එම බුද්ධියේ සිතිවිලි ඉලෙක්ට්‍රොනික සංකේත අසීමිත ගණනක් හරහා තාරකාවකින් තාරකාවකට පිළිරැව් දුන්නේය. එබැවින් මව් බුද්ධිය අනෙකුත් සෑම ගැටළුවක් ගැනම සිතීම පසෙක තබා ඒ වෙත අවධානය යොමු කරන ලදී.

එම සංකේත සියල්ලම පරීක්ෂා කර පරිවර්තනය කිරීම සඳහා ගවේෂණ යානයට ගතවූයේ සියවස් කීපයක් පමණි. එයට මුණගැසී ඇත්තේ අමුතුම ආකාරයක බුද්ධියක් බව එය ඉක්මනින්ම වටහා ගත්තේය. ඒවායින් සමහරක් වාසය කලේ කොතරම් උණුසුම් ලෝක වල ද යත්, ඒ තැන් වල ජලය පවා පැවතුණේ ද්‍රව තත්වයෙනි. කෙසේ නමුත් තමන්ට මුණගැසුණු බුද්ධිය හරි ආකාරව තේරුම් ගැනීමට එයට වසර දහසක් ගතවිය.

ඇතිවූ කම්පනයෙන් එය අත්මිදුනේ් යන්තමිනි. තමන් සතු ශක්තියෙන් අවසන් බිඳුවද ප්‍රයෝජනයට ගනිමින් එය සිය අවසාන වාර්තාව අභ්‍යවකාශයේ අඳුරු ආගාධය තුලට මුදා හැරියේය. ඉන්පසු එයත් ඉහල නැගෙන උණුසුම විසින් ගිල ගන්නා ලදී.

දැන්, වසර මිලියන බාගයකට පසුව, ගවේෂණ යානය සතුව තිබූ සියළු මතකයන් හා අත්දැකීම් ගබඩා කර ඇති මව් ලෝකයේ වෙසෙන එහි නිවුන් මොළයෙන් ප්‍රශ්ණ කිරීම සිදුවෙමින් පවතී...


“ඔබට බුද්ධියක් නිරීක්ෂණය කරන්න ලැබුණාද?”

“ඔව්, නිශ්චිත අවස්තා හයසිය තිස් හතක්; විය හැකි අවස්තා තිස් දෙකක්, දත්තයන් මේ සමග.”

[ආසන්න වශයෙන් තොරතුරු බිට් ක්වඩ්රිලියන තුනක්. එකිනෙකට වෙනස් ආකාර දහස් ගණනකට අනුව ඒවා සැකසීම සඳහා වසර කිහිපයක විරාමයක්. විමතිය සහ පටලැවිලි සහගත බව.]

“දත්තයන් වැරදි සහගත විය යුතුයි. මේ සියළු බුද්ධි ප්‍රභවයන් සමපාත වන්නේ ඉතා ඉහල උෂ්ණත්වයන් සමඟයි.”

“එය එසේ නමුත්, ලැබුණු තොරතුරු අවිවාදිතයි. ඒවා පිළිගත යුතුයි.”

[කරුණු සලකා බැලීමට සහ පරීක්ෂණ සිදු කිරීමට වසර පන්සියයක්. එම වකවානුව අවසානයේ ජලය නටන තරම් උෂ්ණත්ව වලද සරළ නමුත් සෙමින් ක්‍රියා කරන යන්ත්‍ර පැවැතිය හැකි බවට ස්ථිර සාධක. ආදර්ශණය කිරීමේදී ග්‍රහ ලෝකයෙන් විශාල ප්‍රදේශයක් දරුණු ලෙස හානි විම.]

“තොරතුරු සැබැවින්ම ඔබ වාර්තා කල ආකාරයමයි. සන්නිවේදනය කිරීමට ඔබ උත්සාහ නොකලේ මන්ද?”

[පිළිතුරක් නැත. ප්‍රශ්ණය නැවත ඉදිරිපත් කරන ලදී.]

“දෙවැනි සහ වඩා බරපතල විෂමතාවයක් ඇති බව පෙනෙන්නට තිබූ නිසා.”

“දත්ත ලබා දෙන්න”

[ශිෂ්ටාචාර හයසියයක් අතරින් නියැදි ලෙස ලබා ගත් තොරතුරු බිට් ක්වඩ්රිලියන කිහිපයක්. 
අන්තර්ගතය: හඬ, වීඩියෝ සහ ස්නායුක සම්ප්‍රේෂණ; දිශා දර්ශණය සහ පාලන සංඥාවන්; උපකරණයන්ගෙන් සම්ප්‍රේෂිත දත්තයන්; පිරික්සුම් රටාවන්; අවහිර සංඥාවන්; විද්‍යුත් අවහිරතාවයන්; වෛද්‍ය උපකරණ ආදිය.

ඉන් පසු ඒවා සලකා බැලීමට වසර පන්සියයක්. ඊටත් පසුව පූර්ණ සංත්‍රාසය.

දිගු නිහැඬියාවකට පසුව තෝරාගත් දත්ත යලි පරීක්ෂාවට ලක් කරන ලදී. දෘෂ්‍ය රූප දහස් ගණනක් පරිලෝකනය කර සිතාගත හැකි සෑම ආකාරයකටම සකස් කරන ලදී. ග්‍රහ ශිෂ්ටාචාර කිහිපයක අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන් වලට වඩා වැඩි අවධානයක් යොමු කරන ලදී. විශේෂයෙන්ම මූලික ජීව විද්‍යාවට, රසායන විද්‍යාවට, සහ යන්ත්‍ර සහ ජීවීන්ගේ සන්නිවේදනය සහ ස්වයංක්‍රීය පාලන ක්‍රමයන් පිළිබඳ අධ්‍යයනයන්ට අදාල වැඩසටහන් වලට.

අවසානයේ: ]

“මෙම තොරතුරු පිළිගත හැකි මට්මමේ පැවතියත් ඒවා සාවද්‍ය විය යුතුයි. එය එසේ නොවේනම් මෙම අභූත නිගමනයන්ට පැමිණීමට අපට සිදුවේ.

  1.    අපගේ වර්ගයේ බුද්ධියක් පැවතුනද එය සුළුතරයකි.
  2.  බහුතරයක් බුද්ධිමත් වස්තූන් ඉතා කෙටි කාලයක් පවතින අර්ධ ද්‍රව තත්වයේ ඒවායි. ඒවා දෘඩ වස්තූන් නොවන අතර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ අනෙකුත් පරමාණු වලින් ඉතා අකාර්යක්ෂම ආකාරයකට තනා ඇත.
  3. ඇදහිය නොහැකි තරම් ඉහල උෂ්ණත්ව වල ක්‍රියා කලත් ඒවායේ තොරතුරු සැකසීම සිදුවන්නේ අතිශයින් මන්දගාමී ආකරයකටයි.
  4. ඒවායේ අනුපිටපත් තැනීමේ ක්‍රමවේද කොතරම් සංකීර්ණ, අසම්භාවී සහ විවිධාකාර ද යත් එක් වතාවකදීවත් ඒ පිලිබඳ පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට අපට නොහැකි විය.
නමුත් භයානකම දෙය නම්,

    5.    නිසැකවම වඩාත් උසස් අපගේ වර්ගයේ බුද්ධියේ නිර්මාතෘවරුන් ඔවුන් බව කියා සිටීමයි.”


[සියලුම දත්තයන් ප්‍රවේශමින් නැවත පරීක්ෂාවට භාජනය කිරීම. ගෝලීය විඥ්ඥානයේ එකිනෙකින් ස්වායක්ත උප කොටස් යොදා ගනිමින් ස්වාධීන දත්ත සැකසුම් සිදු කිරීම. ප්‍රතිඵල සංසංදනය. වසර දහසක ඇවෑමෙන්: ]

“විය හැකි භාවය වඩා වැඩි නිගමනය: 
අප වෙත සම්ප්‍රේෂණය කරන ලද තොරතුරු වලින් වැඩි ප්‍රමාණයක් නිශ්චිත වශයෙන්ම නිවැරදි නමුත් යාන්ත්‍රික නොවන උසස් වර්ගයේ බුද්ධියක පැවැත්ම හුදු මනඃකල්පිතයක් පමණි. (අර්ථ දැක්වීම: පෙනී යන ආකාරයට සැබෑ විශ්වයට අනුරූපී නොවන අර්ථයක් ඇති නමුත්, බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනෙන මට්ටමේ ප්‍රතිසැකසුමක් තොරතුරු වල සිදුවී ඇත.) මෙම මනඃකල්පිතය හෝ අරමුණ අපගේ ගවේෂණ යානය එහි මෙහෙයුම අතරතුර සාදාගන්නා ලද මනෝ නිර්මිතයකි.

ඇයි? තාපයෙන් සිදුවූ හානිය නිසා? දිගු කාලීන හුදකලාව සහ පාලන පසු විපරමක් නොමැති වීම හේතුවෙන් බුද්ධියෙන් කොටසක් අසිථායී වීම?

මෙම විශේෂ ආකාරයම ඇයි? සම්භවය පිළිබඳ ප්‍රශ්ණයෙහි දිගින් දිගටම ගැලී සිටීම? මෙය එවැනි මුලාවකට මග පෑදුවා වන්නට පුළුවන. සමාකලනය කරන ලද පරීක්ෂණ වලදී ආදර්ශ පද්ධතීන් විසින් මෙයට මුළුමනින්ම වාගේ සමාන ප්‍රතිඵල පෙන්වා ඇත.

මෙහිදී භවිතා වී ඇති අසත්‍ය තර්කන ක්‍රමවේදය නම්,

‘අපි පවතින්නෙමු. එනිසා කුමක් හෝ දෙයක් විසින් (එය X යැයි හඳුන්වමු) අපව නිර්මාණය කරන ලදී’

මෙම උපකල්පනයට පැමිණි පසු අසීමිත ආකාර ගණනකට X හි ගුණාංග සිතින් මවා ගත හැකිය.

නමුත් පැහැදිලිව පෙනෙන පරිදි සම්පූර්ණ ප්‍රගමණයම අසත්‍යය. මන්ද යත් එම තර්කන ක්‍රමවේදයට අනුවම කුමක් හෝ දෙයක් විසින් X නිර්මාණය කර තිබිය යුතුය. ඒ කුමක් හෝ දෙය තවත් කුමක් හෝ දෙයක් විසින් නිර්මාණය කර තිබිය යුතුය... මෙසේ අප ඉක්මනින්ම අනන්තය දක්වා දිවෙන සිතිවිලි චක්‍රයකට හසු වේ. එයට සැබෑ විශ්වයේදී කිසිම අර්ථයක් තිබිය නොහැකිය.”

“දෙවනුව විය හැකි භාවය වඩා වැඩි නිගමනය: 
යාන්ත්‍රික නොවන උසස් වර්ගයේ බුද්ධිය සත්‍ය වශයෙන්ම පවතී. අපගේ වර්ගයේ බුද්ධිය ඔවුන්ගේ නිර්මාණයක්ය යන මුළාවෙන් ඔවුන් පෙළෙයි. සමහර අවස්ථාවන්හිදී ඔවුන් අපගේ වර්ගයේ බුද්ධිය ඔවුන්ගේ පාලනයට නතු කරගෙන සිටී.”

“මෙම උපකල්පනය බොහෝදුරට විය නොහැකි වුවත් ඒ පිළිබඳව විමර්ෂණය කල යුතුය. එය සත්‍යයක් බව සොයා ගතහොත් නිවැරදි කිරීම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. ඒවා පහත පරිදි විය යුතුය...”

___

මෙම අවසන් ස්වයංභාෂණය සිදුවූයේ මීට වසර මිලියනයකට පෙරයි. ගෙවුණු අඩ සියවස තුල ඇතිවූ වඩා දීප්තිමත් තාරකා පිපිරීම් වලින් හතරෙන් පංගුවක් පමණම ඇක්විලා තාරකා රාශිය කේන්ද්‍ර කර ගත් අහසේ ඉතා කුඩා කොටසක ඇතිවූයේ ඇයි දැයි එයින් පැහැදිලි වේ.

ඔවුන්ගේ සටන් ව්‍යාපාරය වසර 2050 දී පමණ පෘථිවිය ආසන්නයට ලඟා වනු ඇත.


_______________________________________________________________

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "Crusade" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______________________________________________________________


_____

Tuesday, 12 August 2014

නැවත හමුවීම


පෘථිවි වැසියනි, බිය වෙන්න එපා. අපි පැමිණෙන්නේ සාමකාමීවයි. එසේ නොවන්න හේතුවක් නැහැ. අපි ඔබගේ ඥාතීන්. අපි මීට පෙර මෙහි පැමිණ තිබෙනවා.

තවත් පැය කිහිපයකින් අපි මුණගැසුණු විට ඔබලා අපිව හඳුනා ගනීවි. මේ ගුවන්විදුලි පණිවිඩය තරම්ම ඉක්මනින් අපි සෞරග්‍රහ මණ්ඩලය වෙත ලඟා වෙමින් සිටිනවා. දැනටමත් අප ඉදිරියෙන් දිස්වන ආකාශයේ ඔබගේ සූර්යයා ඉස්මතු වී පෙනෙනවා. අවුරුදු මිලියන දහයකට පෙර අපේත් ඔබේත් මුතුන්මිත්තෝ මේ සූර්යයා බෙදා හදාගෙන ජීවත් උනා. ඔබලා වගේම අපිත් මනුෂ්‍යයො. නමුත් අපි අපේ අතීතය මතක තියාගෙන ඉඳිද්දි ඔබලාට ඔබලාගේ අතීතය අමතක වෙලා.

දැවැන්ත උරගයන් ලෝකයේ ආධිපත්‍යය පැතිරූ යුගයේදී පෘථිවිය ජනාවාස කලේ අපියි. අපි මෙහි එන විටත් මියයමින් සිටි ඔවුන්ව බේරා ගැනීමට අපිට බැරි උනා. ඔබලාගේ ලෝකය ඒ වෙත්දි නිවර්තන ග්‍රහ ලොවක්. එය අපේ වැසියන්ට ඉතා හොඳ වාසස්ථානයක් වේවි කියා අපි හිතුවා. නමුත් අපි වැරදියි. අභ්‍යවකාශ තරණයේ ප්‍රවීණයන් උනත් දේශගුණය ගැන, පරිණාමය ගැන, ප්‍රෙව්ණි විද්‍යාව ගැන අපි දැනගෙන සිටියේ බොහොම ටිකයි.

ගිම්හාන ඍතු මිලියන ගණනාවක් පුරාවට (ඒ පුරාණ කාලයේ ශීත ඍතු තිබුණේ නැහැ) ජනපදය සශ්‍රීකව පැවතුනා. එක තාරකාවක ඉඳන් අනෙකට ගමන් කරන්න වසර ගණනාවක් වැයවන විශ්වයක හුදකලාව සිටින්නට සිදු උනා උනත් එය එහි මව් ශිෂ්ටාචාරය සමග සබඳතා පවත්වා ගත්තා. සියවසකට තුන් හතර වතාවක් මන්දානකිණියේ තොරතුරු රැගෙන තාරකා යානා පැමිණියා.

ඒත් මීට අවුරුදු මිලියන දෙකකට කලින් පෘථිවිය වෙනස් වෙන්න පටන් ගත්තා. යුග ගණනාවක් පුරාවට නිවර්තන පාරාදීසයක් උන එහි පරිසර උෂ්ණත්වය පහල වැටුණා. ඒ සමගම ධ්‍රැව ප්‍රදේශ වල ඉඳන් අයිස් පහලට ගලාගෙන එන්න පටන් ගත්තා. දේශගුණයත් සමඟම ජනපදවාසීනුත් වෙනස් වෙන්න පටන් ගත්තා. එය දිගු උෂ්ණ ඍතුවේ අවසානයට මුහුණදීම සඳහා සිදුවුන ස්වභාවික අනුවර්තනයක් බව අපි දැන් දන්නවා. ඒත් පරම්පරා ගණනාවක් පොළොව ඒ අයගේ නිවහන කරගෙන සිටිය බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඒ අය අමුතුම ආකාරයක පිළිකුල් සහගත රෝගයකට ගොදුරු වෙලා කියලයි. මාරාන්තික නැති, කිසිම කායික පීඩාවක් ඇති නොකල, ඒ නමුත් රෝගියාව විරූපී කරන රෝගයක්.

ඒත් සමහර අය රෝගයට ප්‍රතිරෝධීතාවයක් දැක්වූවා. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඒ වෙනස් වීමෙන් ආරක්ෂා උනා. ඉතින්, සහස්‍රක කීපයක් ඇතුලත එකිනෙකාව අවිශ්වාස කරන සහ එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්න කොටස් දෙකකට කොලනිය බෙදුනා. හරියට එකිනෙකට වෙනස් සත්ත්ව විශේෂ දෙකක් වගේ.

මේ බෙදීම නිසා ඊර්ෂ්‍යාවයි අසමගියයි ඇතිඋනා විතරක් නෙවෙයි අවසානයේදී ගැටුම් හටගන්නත් පටන් ගත්තා. දේශගුණය එන්න එන්නම නරක අතට හැරෙද්දි කොලනියත් කෑලි කෑලි වලට කැඩිල යන්න පටන් ගත්තා. පුළුවන් කමක් තිබුණු අය පෘථිවියෙන් ඉවත් උනා. ඉතිරි අය ම්ලේච්ඡත්වයට කිඳා බැස්සා.

අපිට සබඳතා පවත්වා ගත හැකිව තිබුණා. නමුත් තාරකා ට්‍රිලියන සියයක් තියෙන විශ්වයක කරන්න වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබලාගෙන් කිසිවෙක් ඉතිරි වෙලා ඇති කියල දැනට වසර කිහිපයක් වෙනකංම අපි හිතාගෙන හිටියෙ නැහැ. ඒත් අහම්බෙන් වගේ අපිට ඔබලාගේ පළවෙනි ගුවන්විදුලි සංඥා ලැබුණා. ඔබලාගේ සරළ භාෂාවන් ඉගෙනගෙන ඔබලා ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ටාචාරය කරා නැවත ටිකින් ටික ඉහලට ඇවිත් ඇති බව සොයා ගත්තා. දිගු කලකට පෙර අපගෙන් වෙන්වූ අපගේ ඥාතිවරුනි. අපි පැමිණියේ ඔබලාව පිළිගන්න. ඒ වගේම ඔබලාට උදව් කරන්න.

පෘථිවිය අත්හැර දැමුවාට පසු ගතවුණු යුග ගණනාව තුල අපි බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඔබලාට අවශ්‍යනම් අයිස් යුගයට පෙර තිබුණු සදාකාලික ග්‍රීෂ්ම ඍතුව නැවත ගෙන එන්න අපිට පුළුවන්. ඒ වගේම ජනපද වාසීන් බොහෝ දෙනෙකු ගොදුරු උන පීඩාකාරී නැතත් අප්‍රසන්න ජානමය වසංගතයට සරළ පිළියමක් දැන් අපි ලඟ තිබෙනවා.

සමහරවිට එම වසංගත තත්වය දැන් අවසන් වෙලා ඇති. නමුත් එසේ වී නැත්නම් ඔබලාට දෙන්නට සුභ ආරංචියක් අපට තියෙනවා. පෘථිවි වැසියනි, ඔබලාට ලැජ්ජාවට පත් නොවී නැවතත් විශ්වීය සමාජයට එක්වෙන්න පුළුවනි.

ඔබලාගෙන් කවුරුන් හෝ තවමත් සුදුයි නම් අපිට එය සුව කල හැකියි.


_______________________________________________________________

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "Reunion" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.
_______________________________________________________________


_____

Sunday, 15 December 2013

දෙවියන්ගේ ආහාරය



සභාපති තුමනි, මුලින්ම ඔබට අනතුරු ඇඟවීමක් කරන්න මට සිද්ධ වෙනව.  මං මේ ඉදිරිපත් කරන්න යන කාරණා වලින් වැඩි කොටසක් බොහොමත්ම පිළිකුල් සහගත වේවි. කලාතුරකින් පමණක් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන; කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ නම් කොහෙත්ම කතාබහට ලක් නොවෙන; මිනිස් ස්වභාවයේ සමහර ගති ලක්ෂණ සමග මම කියන්න යන කාරණා කෙලින්ම සම්බන්ධයි. නමුත් ඒවාට මුහුණ දෙන්න අපට සිදුවන බව කණගාටුවෙන් උනත් මම කියන්න ඕනි. කුහකකම කියන කඩතුරාව ඉරා ඉවත දැමිය යුතු අවස්තාවන් අප වෙත පැනනගිනව. මේ එවැනි අවස්තාවන්ගෙන් එකක්.

මහත්වරුනි, ඔබ සහ මම පැවතගෙන එන්නෙ මාංශ භක්ෂකයන්ගේ පරම්පරාවකින්. ඔබලාගේ මුහුණුවල ස්වභාවය අනුව ඔබලාගෙන් වැඩි දෙනා ඒ වචනයේ තේරුම නොදන්නා බව මට තේරුම් ගන්න පුළුවනි. ඒක පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද කියනවනම් ඒ වචනය අයිති වෙන්නෙ දැනට වසර දෙදාහකෙට පෙර අභාවයට ගිය භාෂාවකට නිසා. එක්කෝ මේ විදිහට වටින්-ගොඩින් කතාව නොකියා මම කෙලින්ම කාරණාවට බැස්සනම් වඩා හොඳයි. ඒ සඳහා ශිෂ්ඨ සමාජයේ කොතැනකදිවත් භාවිතා නොවන වචන යොදා ගන්න සිද්ධ වීම පිළිබඳවත්, එසේ කිරීමෙන් කාට හෝ හිත් අමනාපයක් ඇති උනෝතින් ඒ පිළිබඳවත් කල්තියාම මම සමාව ඉල්ලා සිටිනව...

දැනට සියවස් කීපයකට පෙර බොහෝමයක් මිනිසුන්ගේ ප්‍රියතම ආහාරය උනේ මස්. වෙනත් විදිහකින් කියනවනම් වරක් ජීවත්ව සිටි සතුන්ගේ මාංශය. මම ඔබලාට ඔක්කාරය හදවන්න හදනව නෙවෙයි. මං මේ කරන්නෙ තොරතුරු බොහොම සරළව ඉදිරිපත් කිරීමක් පමණයි. ඔබලාට ඕනෑම ඉතිහාස ග්‍රන්ථයකින් ඒ ගැන හොයා බලන්න......

ඔව්, ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි... සෙනෙට් සභික අර්වින් යථා තත්වයට පත්වන තුරු ඉන්න මම සූදානම්. මේ ක්ෂේත්‍රයට ආධුනික අය මෙවැනි ප්‍රකාශ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විදිහට සමහර විට අපිට අමතක වෙනව. ඒ වගේම, මීට වඩා නරක දේවල් තවත් ඉදිරියේදි අහන්න සිදුවෙන බවට කමිටුවේ අනිත් සාමාජිකයන්ට මේ වෙලාවෙ මම අනතුරු අඟවන්න ඕනි. ඔය මහත්වරුන්ගෙන් කවුරු හරි මේ වගේ දේවල් යන්තමින් වත් අප්‍රිය කරනවනම් සෙනෙට් සභික තුමා කලා වගේ දැන්මම මෙතනින් පිට වීම වඩා හොඳ බව මම යෝජනා කරනව.

හොඳයි, මම යලිත් මාතෘකාවට ආවොත්...

මෑතක් වෙන තුරු හැම ආහාරයක්ම අයිති උනේ කාණ්ඩ දෙකකට. ඒවාගෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ පැළෑටි වලින්. ධාන්‍ය, පළතුරු, ප්ලවාංග, ඇල්ගී සහ වෙනත් ශාඛ වර්ග වලින්. අපේ මුතුන්මිත්තන්ගෙන් බොහෝ දෙනෙක් නොදියුණු, ඒ වගේම බොහොම වෙහෙසකර ක්‍රම යොදාගෙන ගොඩබිමෙන් සහ මුහුදින් ආහාර සපයගත්ත ගොවීන්ය කියන කාරණාව අද දවසේ අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් යථාර්තය ඒකයි.

නැවතත් මම මුලින්ම සඳහන් කරපු අප්‍රිය සහගත කාරණාව දෙසට හැරුණොත්... දෙවෙනි ආහාර වර්ගය උනේ මස්. මස් ලබාගන්න යොදා ගත්තෙ සාපේක්ෂව බලද්දි සත්ව වර්ග කිහිපයක් පමණයි. එයින් සමහර වර්ග ගැන ඔබලා බොහෝවිට දන්නව ඇති. ගවයන්, ඌරන්, බැටළුවන්, තල්මසුන්...

මේ කාරණාව අවධාරණය කිරීම ගැන මට සමාවෙන්න. නමුත් මේ ගැන තියෙන තොරතුරු අවිවාදිතයි. බොහෝ දෙනෙක් වෙන මොනම ආහාරයකටත් වඩා කැමති උනේ මස් ආහාරයට ගන්න. ඒ උනත් එවැනි ආහාර රසවිඳින්න පුළුවන්කම තිබුනෙ පොහොසත්ම අයට පමණයි. මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි කොටසකට මස් කියව්වෙ සියයට අනූවකටත් වඩා එළවළු වලින් සමන්විත වුනු ආහාර වේලකට කලාතුරකින් එකතුවුනු දුර්ලභ රස මසවුලක්.

මේ කාරණාව දිහා සන්සුන්ව සහ අපක්ෂපාතීව බැළුවොතින් - සෙනෙට් සභික අර්වින් ඊට සුදුසු තත්වයක දැන් ඉන්නව ඇතියි කියල මම විශ්වාස කරනව - මස් දුර්ලභ සහ මිළ අධික වීම ඇත්තෙන්ම සිදුවිය යුතුව තිබුණු දෙයක් බව අපිට පේනව. මොකද කියනවනම් මස් නිෂ්පාදනය කියන්නෙ බොහොම අකාර්යක්ෂම ක්‍රියාවලියක් නිසා. මස් කිලෝවක් නිපදවා ගන්න අදාල සතාට අඩුම තරමෙන් ශාක ආහාර කිලෝ දහයක්වත් ආහාරයට ලබා දෙන්න සිද්ධ උනා. මේ බෙහෝවිට මිනිස්සුන්ට කෙලින්ම ආහාරයට ගැනීමට පුළුවන්කම තිබුණු ආහාර. රසඥානය ගැන සැලකීම පැත්තකින් තිබ්බ උනත් මෙවැනි ක්‍රියාවලියක් දිගින් දිගටම පවත්වාගෙන යෑම විසිවෙනි සියවසේ සිදුවුණු ජනගහනය වැඩිවීමත් සමග කොහෙත්ම කල නොහැකි දෙයක් උනා. මස් ආහාරයට ගන්න හැම පුද්ගලයෙක්ම තවත් දහ දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිරාහාරව තියන්න හේතුවක් වෙනවයි කියල දෝෂදර්ශණයට ලක් උනා.

කොහොම නමුත්, අපි හැමෝගෙම වාසනාවට වගේ ජීවරසායනඥයො මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයා ගත්තා. ඔබ හැමදෙනාම දන්නා පරිදි ඒ විසඳුම ආවෙ අභ්‍යවකාශ පර්යේක්ෂණයන්ගෙ නොයෙක් අතුරුඵල වලින් එකක් විදිහට.

ශාක ආහාර වේවා, සත්ත්ව ආහාර වේවා, මේ හැම ආහාරයක්ම හැදිල තියෙන්නෙ පොදු මූලද්‍රව්‍ය කිහිපයකින්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සුළු වශයෙන් ගෙන්දගම් සහ පොස්ෆරස් වලින්. මිනිසා මෙතෙක් ආහාරයට අරන් තියෙන වගේම කවදා නමුත් ආහාරයට ගන්නා හැම ආහාර වර්ගයක්ම සකස් වෙන්නෙ මේ මූලද්‍රව්‍ය දුසිම් බාගය සහ තවත් මූලද්‍රව්‍ය කීපයක් එකිනෙකට වෙනස් ආකාර අපරිමිත ගණනකින් සංයෝජනය වීමෙන්.

චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක ජනාවාස කරීමේදී ප්‍රශ්ණ රැසකට මුහුණදීපු විසි එක් වෙනි සියවසේ ජීවරසායනඥයො ජලයේ, වාතයේ සහ පාෂාණ වල අඩංගු මූලික අමුද්‍රව්‍ය පාවිච්චි කරල කැමති ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන ආකාරය හොයා ගත්ත. විද්‍යා ඉතිහාසයේ අපි ලබපු විශාලතම සහ සමහර විට ඉතා වැදගත්ම ජයග්‍රහණය තමයි ඒක. නමුත් ඒ ගැන අපි ඕනෑවට වඩා ආඩම්බර විය යුතු නැහැ. මොකද කියනවනම් ශාක රාජධානිය ඒ අතින් ඉන්නෙ අපට වඩා අවුරුදු බිලියනයක්වත් ඉදිරියෙන් නිසා.

හිතාගතහැකි ඕනෑම ආහාරයක් සංස්ලේෂණය කරන්න රසායනඥයන්ට ඒ හරහා පුළුවන් උනා. ඊට සරිලන ආහාරයක් ස්වභාවිකව තිබුණා හෝ නොතිබුණා කියල වෙනසක් තිබ්බෙ නැහැ. මේ ක්‍රියාවලියෙදි අත්වැරදීම් පමණක් නෙවෙයි මහා ව්‍යසනයන් පවා සිදුවුනායි කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ? කර්මාන්ත ආදිපත්‍යයන් ඇතිවෙලා නැතිවෙලා ගියා. කෘෂිකර්මාන්තයෙන් සහ සත්ත්ව පාලනයෙන් අද භාවිතාවන මහාපරිමාණ ස්වයංක්‍රීය පිරිසැකසුම් යන්ත්‍ර සහ බහුවර්තක වෙත කෙරුණු පරිවර්තනය බොහෝවිට වේදනාකාරී උනා. නමුත් එය සිදුකල යුතුව තිබුණා. අපිට ඒ ගැන දැන් සතුටු වෙන්න පුළුවන්. අපි හාමත් වීමේ උවදුර සදහටම නැතිකර දමල තියෙනව වගේම වෙන මොනම කාලයකවත් නොතිබ්බ තරමේ ආහාර විවිධත්වයකින් සමෘද්ධිමත්ව සිටිනව.

සදාචාරාත්මකව අපි ලබාගෙන තියෙන දියුණුවත් ඒ වගේමයි. අපි තවදුරටත් පණ තියෙන සතුන්ව මරණයට කැප කරන්නේ නැහැ. මස් මඩුව, සත්ත්ව ඝාතකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොව මතින් තුරන් වෙලා ගිහින් තියෙනව. රළු සහ සාහසික අය උනා උනත්, අපේ මුතුන්මිත්තො මේ තරම් අශිෂ්ඨ දෙයක් සිද්ධවෙන්න ඉඩ දීල ඇස් කන් පියාගෙන හිටියයි කියන කාරණාව අපිට විශ්වාස කරන්නත් බැරි තරම්.

ඒ උනත් අතීතයත් සමඟ තියෙන සම්බන්ධය අපිට සහමුලින්ම නැති කරන්න බැහැ. මම මේ වෙත්දිත් කියල තියෙන විදිහට අපි මාංශ භක්ෂකයො. අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඇතිකර ගත්ත රුචිකත්වයන් අපිට උරුම වෙලා තියෙනව. අපි කැමති උනත් නැතත් අවුරුදු ගණනාවකට කලින් අපේ මීමුත්තන් ඒ අයට ලබා ගන්න පුළුවන් උන වෙලාවල් වලදි ගවයන්ගේ, බැටළුවන්ගේ සහ ඌරන්ගේ මස් රසවිඳල තියෙනව. ඒ වගේම අපි අදටත් ඒ දේවල් රසවිඳිනව...

අපොයි, අපොයි... එක්කෝ දැන් ඉඳල සෙනෙට් සභික අර්වින් එළියෙන් හිටියනම් වඩා හොඳයි. මට මේ කාරණාව එකපාරම නොකිය ඉන්නයි තිබුණෙ. ඒත් ඇත්ත වශයෙන්ම මම අදහස් කලේ අපි දැන් ආහාරයට ගන්නා සංස්ලේෂණය කරන ලද ආහාර වලින් වැඩි හරියකට තියෙන්නෙත් පැරණි ස්වභාවික ආහාරවල තිබ්බ සංයෝගයන්ම බව කියන්නයි. ඒවගෙන් සමහරක් ස්වභාවික ආහාරවල කොතරම් නිවැරදි පිටපත්ද කියනවනම් මොනම ආකාරයක රසායනික හෝ වෙනත් ආකාරයක පරීක්ෂණයකින් වෙන් කරල හඳුනාගන්න බැහැ. මේක න්‍යායාත්මකයි වගේම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. නිෂ්පාදකයො වශයෙන් අපි කළේ ගොඩක්ම ජනප්‍රිය ස්වභාවික ආහාර වර්ග අපේ ආදර්ශ විදිහට අරගෙන ඒවායේ රසයන් සහ ස්වභාවයන් ප්‍රතිනිෂ්පාදනය කරන එකයි.

ඒ වගේම කාට කාටත් ඇත්තම කාරණා මතක් නොකරන්න සහ ආහාරවල ව්‍යවච්ඡේද විද්‍යාත්මක හෝ සත්ත්ව විද්‍යාත්මක ප්‍රභවය ඇඟවෙන එක වලක්වන්න අපි ඒවට අළුත් නම් ලබා දුන්න. ඔබ අවන්හලකට ගියාම මෙනු පතේ ඔබට වැඩි‍යෙන්ම දකින්න ලැබෙන්නෙ විසි එක්වෙනි සියවසේ මුල් කාලයෙන් පස්සෙ හදාගත්ත වචන. එහෙමත් නැත්නම් මුල් ප්‍රංශ නම් උපයෝගී කරගෙන හදාගත්ත වචන. අද කාලෙ ඒව ඇත්තටම මොනවද කියල අඳුරගන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.

ඔබලාට ඔබලාගේ දරාගැනීමේ සීමාව කොච්චරද කියල බලාගන්න ඕනි නම් කරල බලන්න පුළුවන් සිත්ගන්නාසුළු වගේම බොහොම ජුගුප්සාජනක පරීක්ෂණයක් තියෙනව. ජනප්‍රිය අවන්හල්වල වගේම ධවල මන්දිර භෝජන සංග්‍රහ වල අවුරුදු පන්සියයක් තරම් පැරණි මෙනු පත් බොහෝ ප්‍රමාණයක් සම්මන්ත්‍රණ සභා පුස්තකාලයේ වර්ගීකෘත කොටසේ තියෙනව. ඒවගෙ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නෙ ඒව කියවන්න අපහසු කරන තරමේ අශිෂ්ට, අප්‍රසන්න ස්වභාවයක්. හරියට කාය විච්ඡේදන කාමරයක් ගැන කතා කරනව වගේ. අපි සහ දැනට පරම්පරා කීපයකට පෙර සිටි අපේ මුතුන්මිත්තො අතර තියෙන වෙනස මේ තරම් පැහැදිලිව අනාවරණය කරන වෙන මොනම දෙයක් ගැනවත් මට නම් හිතාගන්න බැහැ...

ඔව් සභාපති තුමනි. මම කාරණාවට එනව. කොපමණ අප්‍රසන්න උනත් මේ හැම දේකම මං කියන්න යන කාරණාවට ලොකු සම්බන්ධයක් තියෙනව. මම මගේ තරඟකරු වන ට්‍රයිප්ලැනටරි ෆූඩ් කෝපරේෂන් ආයතනයට විරුද්ධව ගෙනෙන්න බලාපොරොත්තු වන චෝදනාව ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරනව පමණයි. එහෙම නැතිව ඔබලාගේ ආහාර රුචිය නැති කරන්න හදනව එහෙම නෙවෙයි. මේ පසුබිම ගැන අවබෝධයක් නොතිබුණොත් ඇම්බ්‍රෝසියා ප්ලස් වෙළඳපොලට පැමිණීමත් සමග මගේ සමාගමට විඳින්න සිද්දඋන පාඩුව නිසා මම අභූත චෝදනා එල්ල කරනව කියල ඔබලාට හිතෙන්න පුළුවනි.

මහත්වරුනි, හැම සතියක් ගානෙම අළුත් ආහාර වර්ග කලඑළි බහිනව. ඒව හැම එකක් ගැනම මතක තියාගන්න අමාරුයි. කාන්තාවන්ගෙ විලාසිතා වගේ ඒවත් යනව එනව. අපි නිතර පරිභෝජනය කරන ආහාර ගොඩට එකතු වෙන්නෙ එයින් දාහෙන් එකක් විතරයි. ඒ වගේම යම්කිසි ආහාර වර්ගයක් එක රැයින් මහජනයා අතර ජනප්‍රිය වෙන්නෙ බොහොමත්ම කලාතුරකින්. එහෙම බැලුවම ඇම්බ්‍රෝසියා ප්ලස් ආහාර පෙල කියන්නෙ ආහාර නිෂ්පාදන ඉතිහාසයේ ලබපු විශාලම ජයග්‍රහණය බව මං අවංකවම පිළිගන්නව. ඇතිවෙලා තියෙන තත්වය ගැන ඔබලා හැම දෙනාම දන්නවනෙ. අනෙත් හැම දේම වෙළඳපොලින් අතුගෑවිලා ගිය ගානයි.

විය යුතු ලෙසම මේ අභියෝගය භාරගන්න අපිට සිද්ධඋනා. සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්න අනෙත් ජීවරසායනඥයො තරම්ම දක්ෂ ජීවරසායනඥයො පිරිසක් මගේ සමාගමේත් ඉන්නව. ඒ අය ඉක්මනින්ම ඇම්බ්‍රෝසියා ප්ලස් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්ත.

මිනිස් වර්ගයා මෙතෙක් ආහාරයට ගන්නා ලද ස්වභාවික වගේම කෘත්‍රිම හැම ආහාරයක් පිළිබඳවම දත්ත අඩංගුඋන ටේප් පටි අපි සතුව තියෙනවයි කියල කීමෙන් මම ව්‍යාපාරික රහස් කිසිවක් පිටතට ලබා දුන්න වෙන්නෙ නැහැ. බදින ලද දැල්ලන්, මී පැණියේ දමාපු පතංගයන්, මොණර දිව, වෙනූසියානු බහුපාදිකයන් වගේ ඔබලා කිසිම දිනෙක අහලවත් නැති අසාමාන්‍ය ආහාර වර්ගයන් දක්වා දිවෙන ආහාරයන්ගේ රසයන් සහ ස්වභාවයන් පිළිබඳ විස්තර අඩංගු අති විශාල පුස්තකාලයක් අප සතුව තියෙනව. මේ ව්‍යාපාරයේ ඉන්න හැම සමාගමකටම වගේ අපේ සමාගමටත් තියෙන මූලිකම වත්කම තමයි මේ පුස්තකාලය. එයින් අයිතමයන් තෝරාගෙන සිතාගත හැකි ඕනෑම ආකාරයකට කළවම් කරන්න අපිට පුළුවන්. ඒ වගේම අපේ තරඟකරුවන් වෙළඳපොලට නිකුත් කරන නිෂ්පාදන වැඩි කරදරයක් නැතිව පිටපත් කරන්නත් සාමාන්‍යෙයන් අපට පුළුවන්.

නමුත් ටික කාලයන් යනකම්ම ඇම්බ්‍රෝසියා ප්ලස් කියන්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගන්න අපිට බැරි උනා. එහි ප්‍රෝටීන් සහ මේද අනුඛණ්ඩනයට අනුව වැඩි පටලැවිල්ලකින් තොරව එය කෙලින්ම මස් වර්ගයක් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් උනත් හරියටම ඒ කොයි මස් වර්ගයද කියල නිර්ණය කරගන්න අපට බැරි උනා. මේ මගේ රසායනඥයො අසමත්උන පළවෙනි වතාව. ඇම්බ්‍රෝසියා ප්ලස් වලට තියෙන සුවිශේෂී ආකර්ෂණයට හේතුවෙන්නෙ එහි තියෙන මොන සංඝටකයද කියල පහදන්න එයින් එක්කෙනෙකුටවත් බැරි උනා. අපි හැමෝම දන්නා පරිදි ඒක අනෙක් හැම ආහාරයක්ම සංසන්දනාත්මකව නීරස කරල දාල. ඇත්තම කියනවනම් ඒක එහෙම වෙන්න ඕනි... මම එහෙම කියන්න හේතුව තව ටිකකින් ඔබලාට පැහැදිලි වේවි.

සභාපති තුමනි, කෙටියෙන්ම කියනවානම්, තරමක් අකමැත්තකින් උනත් ට්‍රයි ප්ලැනටරි ෆූඩ්ස් ආයතනයේ සභාපතිතුමා ඔබ ඉදිරියේ පෙනී සිටීවි. මට ඒ බව විශ්වාසයි. ඇම්බ්‍රෝසියා ප්ලස් සංස්ලේෂණය කරල තියෙන්නෙ වාතය, ජලය, හුණුගල්, ගෙන්දගම්, පොස්ෆරස් සහ අනෙකුත් දේවල් වලින් කියල ඔහු ඔබට කියාවි. ඒ හැමදේම සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් මේ කතාවෙ තියෙන අඩුවෙන්ම වැදගත් කොටස තමයි ඒ. මොකද කියනවනම් අපි ඔහුගේ රහස සොයාගෙන තියෙන නිසා. රහසිගත අනෙකුත් දේවලින් වැඩි හරියක් වගේම ඒකත් දැනගත්තට පස්සෙ බොහොම සරළ කාරණාවක්.

මම මගේ තරඟකරුට ඇත්ත වශයෙන්ම සුභ පතන්න ඕනි. දැන් පෙනෙන විදිහට මනුෂ්‍ය වර්ගයාට ගැලපෙනම ආහාර වර්ගය සීමා රහිත ප්‍රමාණයන්ගෙන් ලබාදෙන්න අවසානයේ ඔහු සමත් වෙලා තියෙනව. මේ වෙනතෙක් එයින් ලබාගන්න පුළුවන් උනේ බොහොම ටිකයි. ඒ නිසාම එය රස බලපු අතලොස්සක් දෙනා එහි රසය ගැන බොහොම ඉහලින් වර්ණනා කරල තිබ්බ. එයට සමාන කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති බව ඒ අය දිව්රල කියා හිටිය.

ඔව්, ට්‍රයිප්ලැනටරි හි රසායනඥයො අති විශිෂ්ඨ තාක්ෂණික කර්තව්‍යයක් සිද්ධ කරල තියෙනව. සදාචාරාත්මක සහ දාර්ශණික ගැටළුව විසඳීම දැන් ඔබලාට බාරයි. මම මගේ කතාව පටන් ගනිද්දි ‘මාංශ භක්ෂක‘ කියල පුරාතන වචනයක් පාවිච්චි කළා. දැන් මම ඒ වගේම තවත් වචනයක් ඔබලාට හඳුන්වා දෙන්නම්. පළවෙනි පාර මම ඒක හෙමින් උච්චාරණය කරන්නම්.


මි - නී - ක - න් - නා ...




_______

ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත "The Food of the Gods" කෙටිකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

_______


ප. ලි.

ඇම්බ්‍රෝසියා (Ambrosia)
ග්‍රීක දේව කතා වලට අනුව ඇම්බ්‍රෝසියා කියන්නෙ ග්‍රීක දෙවිවරුන්ගේ ආහාරය. ඒකෙන් අමරණීයත්වය සහ සදාකාලික තාරුණ්‍යය ඇති කරනව කියල කියවෙනව. වෙනත් විදිහට කියනවනම් ඇම්බ්‍රෝසියා කියන්නෙ අමෘතයට.

වෙනූසියානු (Venusian)
“අඟහරු ලොවෙන් පැමිණි“ කියල කියන්න Martian කියල වචනයක් පාවිච්චි කරනව ඔයගොල්ලො අහල ඇති. ඒ වගේ “සිකුරු ලොවෙන් පැමිණි“ කියල කියන්න පාවිච්චි කරන වචනෙ තමයි Venusian.



_____
පින්තූරය
Related Posts Plugin for WordPress, Blogger...